Friday, May 3, 2024

General line - 0115112241

පකිස්තානයේ මුස්ලිම් පල්ලියක පිපිරීමකින් 32 දෙනෙකු මරුට




පකිස්ථානයේ පෙෂාවර් නගරයේ පිහිටි ඉස්ලාම් පල්ලියක් ඉලක්ක කර අද බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රහාරයෙන් පුද්ගලයින් 32දෙනෙකු මියගොස් තවත් 150 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. මියගිය හා තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි පකිස්තාන බලධාරීන් පවසන්නේ.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාල පල්ලිය තුළ යාඥාවක් පැවැති බවත්, ඊට සහභාගී වීම සදහා ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් පල්ලිය වෙත පැමිණ සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බෝම්බය පුපුරා යාමත් සමග දේවස්ථානයේ වහලයේ කොටසක් සහ බිත්තියක් කඩා වැටී ඇති අතර එම සුන්බුන්වලට යටවී බොහෝ පිරිසක් මියගොස් ඇති බව ද සදහන්. තුවාල ලැබූ පිරිස අතර සිටින බොහෝ දෙනෙකු පොලිස් නිලධාරීන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේවනවිට අනාවරණ වී ඇති තොරතුරු අනුව මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ප්‍රහාරකයා යාඥා කටයුතු සදහා එක්ව සිටි බැතිමතුන් අතර ඉදිරි පෙළෙහි රැදී සිට බෝම්බය පුපුරවා ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ. කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්ත කණ්ඩායමක් විසින් භාරගෙන නැහැ.