Saturday, May 11, 2024

General line - 0115112241

භූමිකම්පාව මැද ඉපදුණු තුර්කි බිළිඳිය හදාගන්න ලොව පුරා ලක්ෂ ගණනක් එයි




තුර්කියේ සහ සිරියාවේ ඇතිවූ භූමිකම්පාව අතරතුර හුවමාරුවූ වීඩියෝ අතර තිබූ පුංචි බිළිඳියක් උපත ලැබූ වීඩියෝව ඔබට මතකද ? සුන්බුන් යට උපත ලැබූ මෙම බිළිඳිය සහන සේවකයෙකු සිය අතට ගෙන ඉදිරියට දිව එන්නේ ඇය, ඇගේ මවගේ මව් කුසට සම්බන්ධ වූ පෙකණිවැලද සමඟයි.

මේ වන විට මෙම බිළිඳිය ලොව පුරා දැඩි කතාබහක් මතුකර තිබෙනවා. ඒ, ඇය හදාවඩා ගැනීම සඳහා ලොව පුරා ලක්ෂ ගණනක් ඉදිරිපත්වීමත් සමඟයි. ඒ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්, රූපවාහිණී නිවේදිකාවන් මෙන්ම වෛද්‍යවරුන්ද ඇතුලත්.

ඉකුත් සඳුදා ඇතිවූ දරුණු භූ කම්පනයෙන් පසු වයඹදිග සිරියාවේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් යට මෙම බිළිඳිය උපත ලැබුවා. ඇයට නම් තබා ඇත්තේ ආයා ලෙසයි. එහි අරාබි අර්ථය වන්නේ “ආශ්චර්ය” යන්නයි. භූ කම්පනයෙන් ඇගේ මව පියා සහ සහෝදර සහෝදරියන් සිව්දෙනා මියගියා. ඇය බේරාගන්නා අවස්ථාවේත් සීරීම්, තැලීම් සහ අධික සීතලෙන් පසුවුණා.

ආයාගේ දිවි ගලවා ගැනීමට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්්‍යමණ්ඩලය දැඩි වෙහෙසක් ගත්තා. ආයා දැන් සිටින්නේ රෝහලේයි. ඇය රැකබලාගත් ළමා රෝග විශෙෂඥ වෛද්‍ය හනී මාරුෆ් පවසන්නේ ඇයගේ තත්ත්වය දැන් ස්ථාවර මට්ටමක පවතින බවයි. 

ඇය පිළිබඳ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාපත්වීමත් සමඟ ඇයව දරුකමට හදාවඩා ගැනීම සඳහා වෛද්‍යවරුන්ට මෙන්ම ඇයගේ ඥාතීන්ට මේ වන විට දිනපතාම දහස් ගණනින් පණිවුඩ ලැබෙමින් පවතිනවා.