Sunday, May 19, 2024

General line - 0115112241

ඒකක 90ට අඩු ලක්ෂ 44කගේ විදුලි බිල සියයට 200කින් ඉහළට




සියයට 66කින් විදුලි බිල වැඩි කළ බව ප්‍රකාශ කළද ඒකක 0 සිට 90 දක්වා විදුලි බිල සියයට 200ටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදි හෙළි වුණා.

ඒකක 0 සිට 30 දක්වා විදුලි ඒකකයකට මෙතෙක් අය කළේ රුපියල් 8ක්. දැන් එය රුපියල් 30ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට ස්ථාවර ගාස්තුව ලෙස රුපියල් 400ක මුදලක් එකතු වන අතර ඒ සඳහා රජයේ බදුද අතිරේකව ඇතුළත් වනවා. මෙරට විදුලි පරිභෝගිකයන්ගෙන් මිලියන 1යි දශම 4යි 5ක් ඇතුළත් වන්නේ ඒකක 0 සිට 30 දක්වා කාණ්ඩයටයි. 

විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමයේ දත්ත වලට අනුව සමෘද්ධි ලාභීන්ගේ මෙතෙක් පැවති රුපියල් 360ක විදුලි බිල රුපියල් 1,300ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් රුපියල් 900ක් වූ විදුලි බිල රුපියල් 2,560ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම සංගමය පැවසුවේ. 

ඒකක 31 සිට 60 දක්වා මෙතෙක් පැවති රුපියල් 10ක ගාස්තුව රුපියල් 37 දක්වා වැඩි වී තිබෙනවා. ඊට එක්වන ස්ථාවර ගාස්තුව රුපියල් 550ක්. මෙම විදුලි බිලට රජයේ බදුද ඇතුළත් විය යුතුයි. මෙරට විදුලි පාරිභෝගිකයින්ගෙන් මිලියන 1යි දශම 5යි 5ක් ඇතුළත් වන්නේ ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයටයි. විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමයේ දත්ත වලට අනුව ඒකක 60 උපරිමයක් භාවිත කළ හොත් මේවනවිට රුපියල් 2,600කට වැඩි විදුලි බිලක් ලැබෙනු ඇති. 

ඒකක 61 ත් 90 ත් අතර මෙතෙක් ඒකකයකට අය කළ රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩිවනවා. ඊට රුපියල් 650ක ස්ථාවර ගාස්තුවක් හා රජයේ බදුද අලුතින් එක්වනවා. මෙරට විදුලි පාරිභෝගිකයින්ගෙන් මිලියන 1යි දශම 4ක් ඇතුළත් වන්නේ ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයටයි. විදුලි බිල විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමයේ දත්ත වලට අනුව ඒකක 60ට වැඩි නිවසක රුපියල් 1,336ක් වූ ඔවුන්ගේ සාමාන්‍ය විදුලි බිල මේවනවිට රුපියල් 3,212ක් දක්වා වැඩි වී තිබෙනවා. 

ඒකක 91ත් 120ත් අතර සහ ඒකක 121ත් 180ත් අතර විදුලි ඒකකයක මිල වැඩි වන්නේ රුපියල් 50ක් දක්වායි. ඒකක 91ත් 120ත් අතර කාණ්ඩයට පාරිභෝගකයින් හත් ලක්ෂ 45,000ක් අයත්. ඔවුන්ද රුපියල් 1500ක ස්ථාවර ගාස්තුවක් හා රජයේ බදු ගෙවිය යුතුයි. ඒ අනුව ඒකක 90ට වැඩි පවුලක් මෙතෙක් ගෙවූ රුපියල් 2,450ක සාමාන්‍ය විදුලි බිල රුපියල් 5,330ක් දක්වා වැඩි කර ඇති බව විදුලි බිල විදුලිය පාවිච්චි කරනන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ සාමාන්‍ය පාරිභෝගිකයාගේ විදුලි බිල සියයට 250කින් පමණ වැඩි වී ඇති බවයි.

විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ විදුලි බිල වැඩිවීමත් සමඟ ලැබෙන මුදලෙන් ඍජුවම දැවි තෙල් සහ නැප්තා ආනයනය කිරීමට යොදා ගන්නා බවයි.