Sunday, May 19, 2024

General line - 0115112241

දිනේෂ් ශාෆ්ටර් ගේ මරණය ගැන හේතු සොයන්න පංච පුද්ගල විශේෂ අධිකරණ කමිටුවක්




ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින්. නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මරණකරුගේ මරණයට සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ මුල් පිටපත හා අවසන් සවිස්තර වාර්තාව අතර පරස්පරතා නිරීක්ෂණය වන බවයි. එම තත්වය යටතේ මරණයට හේතුව නිගමනය කිරීම අපහසු බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ඒ අනුව මරණයට හේතුව නිගමනය කිරීම සඳහා වෝහාරික විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට තමන් තීරණය කරන බවයි මහේස්ත්‍රාත්වරිය පැවසුවේ. ඒ අනුව තමන් නියෝග දෙකක් නිකුත් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය කියා සිටියා.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය මෙරට ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ නාම ලේඛනයක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළා. ඊට අමතරව වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥතාවයක් දරන ජේෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත තවත් නියෝගයක් නිකුත් කෙරුණා. 

එම නාම ලේඛන දෙක ලැබීමෙන් අනතුරුව මරණකරුගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා අවශ්‍ය කරන පංච පුද්ගල කමිටුව නම් කරන බව මහේස්ත්‍රාත්වරිය පැවසුවා. ඒ අනුව පැමිණිල්ල නැවත පෙබරවාරි මස 20වනදා කැඳවීමට නියමිතයි.

අද දින මරණ පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ මෙම සිද්ධියට අදාළව කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලීමක් කළා. එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම තමන් දැනටමත් අවසන් කර ඇති බවත් මරණයට හේතුව පිළිබඳ නියෝග නිකුත් කිරීමට පමණක් ඉතිරිව තිබෙන බවයි.