Sunday, May 19, 2024

General line - 0115112241

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි




විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා. ඒ, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණය හමුවේ කියා සිටියේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට විෂය භාර අමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බවයි. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත නියෝග නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණ නීතියට පටහැනි බවයි පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණේ.

එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ බලශක්ති අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණ ගැනීමට විෂයභාර අමාත්‍යවරයාට බලයක් තිබෙන බව පෙන්වා දුන්නා. දීර්ඝ කරුණු අධ්‍යනයකින් පසුව අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල කියා සිටියේ පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ කරුණු අනාවරණය නොවන හෙයින් එය ප්‍රතික්ෂේප කරන බවයි.