Sunday, May 19, 2024

General line - 0115112241

පුංචි ඡන්දය කල්දමන්නැයි ඉල්ලා ගොනුකළ රීට් පෙත්සම කැඳවීම හෙට




රට තුළ ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන බැවින් පළාත් පාලන  ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව් එම් ආර් විජේසුන්දර විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම හෙට දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.

එස් තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවීමට නියමිත බවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු ලැයිස්තුවේ සඳහන් කර ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම පෙත්සම ඉකුත් 10 වන දා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වැඩිදුර සලකා බැලීම ලබන 23 දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබුණා.

එබැවින් අදාළ පෙත්සම ලබන 23 වනදා ට පෙර කැඳවන ලෙස ඉල්ලමින් කර්නල්වරයා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ගොනු කර තිබෙනවා. මෙම පසුබිම යටතේ අදාළ පෙත්සම හෙට දින කැඳවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ.