Sunday, May 19, 2024

General line - 0115112241

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි




කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් අද රාත්‍රි 11 යි 30 දක්වා වලංගු වන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එලිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින්නැයි ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්නැයි ද එම නිවේදනයේ සඳහන්. රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද උපකරණ භාවිතයෙන් වළකින ලෙස ද, පා පැදි, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.