Sunday, May 19, 2024

General line - 0115112241

මිණිපේ වම් ඉවුරු ඇළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්




විවිධ හේතු මත වසර 03කට අධික කාලයක් ප්‍රමාද වූ මිණිපේ වම් ඉවුරු ඇළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කඩිනම් කර, ඉදිරි මහ කන්නයට පෙර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ඊයේ පස්වරුවේ මිණිපේ අමුණ ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. ව්‍යාපෘතියේ සැලැස්ම පරීක්ෂා කළ ජනාධිපතිවරයා එහි ඉංජිනේරුවන්ගෙන් ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද කරුණු විමසා තිබෙනවා. ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වෙනුවෙන් මෙරට ඉංජිනේරු පීඨවල සිසුන්ගේ සහාය ලබා ගැනීමේ හැකියාව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

විදුලිය සඳහා ඉල්ලුම උච්චතම අවස්ථාවන්හි දිනකට දෙවරක් රන්ටැඹේ ජල විදුලිබලාගාරයෙන් ජලය නිකුත් කිරීම් සිදු කරන අවස්ථාවන්හිදී වම් හා දකුණු ඉවුරු ඇළ මාර්ග සඳහා ජලය නිකුත් කිරීමට දැනට පවතින අමුණ ප්‍රමාණවත් වන්නේ නැහැ.

මේ හේතුවෙන් මිණිපේ ගොවි බිම් සඳහා  වඩා විශ්වාසනීය හා අඛණ්ඩව ජල සැපයුමක් ලබාදීමේ අරමුණින් මිණිපේ අමුණ වේල්ල මීටර 3.5 කින් එසවීම හා කිලෝ මීටර 74ක දිගින් යුතු මිණිපේ වම් ඉවුරේ ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම් ආරම්භ කෙරුණා.

මිණිපේ අමුණ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ගොවි ජනතාවට නිරන්තරයෙන් ජලය ලබාදීමේ හැකියාවක් ඇති අතර මිණිපේ වම් ඉවුරු ඇළ දෙපස වගා බිම් යල - මහ දෙකන්නයේ අවහිරයකින් තොරව වගා කිරීමේ හැකියාව හිමිවනවා. එමඟින් සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 15,000ක්. 

ව්‍යාපෘතිය සඳහා  වැය කෙරෙන  මුදල රුපියල් මිලියන 3,000ක්. 1948 වසරේ ඉදිකෙරුණු මිණිපේ අමුණ අවසන් වරට ප්‍රතිසංස්කරණය කර ඇත්තේ 1980 වසරේදීයි.