Sunday, May 19, 2024

General line - 0115112241

පුංචි ඡන්දය දිනාගන්නා තුරු සටන අත්නොහරින බව සජිත් කියයි




පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන තෙක් සිය සටන අත්නොහරින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි පවත්වන ලෙස ආණ්ඩුවට බල කරමින් සමගි ජන බලවේගය අද පස්වරුවේ කොළඹදී සංවිධාන කර තිබූ විරෝධතාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

මේ අතර මහජනතාවගේ දෛනික කටයුතුවලට හා රථ වාහන ගමනා ගමනයට බාධා නොකරන ලෙසටත්, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත නොවන ලෙසටත්, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශය, ගාලුමුවදොර පිටිය පරිශ්‍රය යන ස්ථානයන්ට ඇතුලුවීමෙන් වළකින ලෙසටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

ඒ, කොළඹ, කොටුව පොලිස් ස්තානාධිපතිවරයා විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි. සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා ඇතුලු වගඋත්තරකරුවන් හත් දෙනෙකුට හා ඔවුන් සමඟ සහභාගි වන තැනැත්තන්ට එම නියෝගය නිකුත් කෙරුණා.
මේ අතර සමගි ජනබලවේගය අද පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට මරදාන ටෙක්නිකල් මංසන්ධිය අසලදී පොලීසිය අද පස්වරුවේ ජල හා කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. 

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමේ උත්සාහයන් සම්බන්ධයෙන් අද දිනයේ ද මෙරට පිහිටි තානාපති කාර්යාල කිහිපයක් දැනුවත් කළ බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ.