Saturday, May 18, 2024

General line - 0115112241

බිත්තර මිලියන දෙකක් ආනයනය කෙරේ




සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසන්නේ බේකරි කර්මාන්තය සඳහා බිත්තර හිඟයක් පවතින බවත්, බිත්තරයක මිල රුපියල් 48ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

මෙම හිඟය නිසා ලබන සතිය වන විටදී බිත්තර ආනයනය කිරීමට නියමිත බවද සභාපතිවරයා පවසා සිටියා. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක කියා සිටියේ දිනක බිත්තර අවශ්‍යතාවය ලක්ෂ 55 ක් වුවත් නිෂ්පාදනය කෙරෙන්නේ බිත්තර ලක්ෂ 50 ක් බවයි.

කෙසේ නමුත් බිත්තර නිෂ්පාදනය සතිපතා වැඩිවන බවත් කුකුළු ගොවිපොළවලින් බේකරි හිමියන්ට බිත්තරයක් රුපියල් 42 කට හෝ 43 කට නිකුත් කෙරෙන බවත් පැවැසූ ඔහු බිත්තරය ග්‍රෑම් 60 කට වඩා වැඩි වන්නේ නම් මිලෙහි යම් වෙනසක් සිදුවන බවයි කියා සිටියේ. 

ලබන සතියේදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කෙරෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිලා ඉද්දමල්ගොඩ කියා සිටියා.

පළමු තොගය ලෙස බිත්තර මිලියන දෙකක් ආනයනය කෙරෙන බවත් ඊට අදාළ මාර්ගෝපදේශ රජයේ පශු සම්පත් අංශ විසින් ලබාදී තිබෙන බවද ඇය පැවසුවා.