Saturday, May 11, 2024

General line - 0115112241

ජපානයට ගොඩගැසූ " ගොඩ්සීලා බිත්තරයේ" අභිරහස නිරාකරණය වෙයි




ප්‍රදේශවාසීන් අතර භීතියක් ඇති කරමින් ලොව පුරා අවදානය යොමු වූ ජපානයේ වෙරළ තීරයකට ගොඩගැසූ "අද්භූත ලෝහ ගෝලය" පිළිබඳ අභිරහස මේ වන විට නිරාකරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

දළ වශයෙන් අඩි 5ක් (මීටර් 1.5ක්) විශ්කම්භයකින් යුත් මෙම ලෝහ ගෝලය මීට දින කිහිපයකට පෙර පැසිෆික් වෙරළබඩ පිහිටි ජපානයේ නගරයක් වන හමාමාට්සු හි එන්ෂු වෙරළට ගොඩගසා තිබුණා. මේ හේතුවෙන් එම වෙරළ තීරයට ජනතාවට ඇතුළු වීමට බලධාරීන් අවසර ලබා නොදෙන ලදියි.

වෙරළ තීරයට ගොඩගැසූ එම ලෝහ ගෝලය පැමිණියේ කොතැනින්ද යන්න පිළිබඳව ජපාන බලධාරීන්ට හෝඩුවාවක් නොතිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කෙසේ නමුත් මෙම ගෝලාකාර වස්තුව  චීන නැව් තැනීමේ සමාගමක් වන Nantong Yangfan විසින් සාදන ලද වානේ බෝයාවන්ට සමානකම් දක්වන බවත් එහි ප්‍රමාණය සමාන බවයි හෙළිවී ඇත්තේ. මෙම ලෝහ ගෝලාකාර බෝයාවන් සාගරයේ ස්ථාන සලකුණු කිරීම සඳහා නාවිකයින් විසින් යොදා ගන්නා බෝයා විශේෂයක් ලෙස භාවිතා කරයි.

මෙම සමාගම පිහිටා ඇත්තේ චීනයේ නැගෙනහිර චීනයේ වෙරළබඩ ජියැන්ග්සු පළාතේ වන අතර  බෝයාව කැඩී ගොස් නැගෙනහිර දෙසින් පිහිටි ජපානය දෙසට පාවී ගොස් ඇති බවට උපකල්පනය කර ඇත.

මෙම ගෝලාකාර වස්තුවට ලෝකයේ දැඩි අවදානයක් යොමු වූ අතර ඇතැම් අය මෙයට " ගොඩ්සීලා බිත්තරය" යනුවෙන් නම් තබා ද තිබුණා.

මේ අතර ජපාන බලධාරීන් විසින් මෙම ගෝලාකාර ලෝහ වස්තුව වෙරළ තිරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.