Saturday, May 4, 2024

General line - 0115112241

වර්ජනය අත්හිටුවීමට ආණ්ඩුවෙන් සුබවාදී ප්‍රතිචාර නැහැ - වෛද්‍ය සංගමය කියයි




සැලසුම් කළ පරිදි හෙට දිනයේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එහි සාමාජික රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ සිය වර්ජනය අත්හිටුවීමට හේතුවන මට්ටමේ ප්‍රතිචාරයක් ආණ්ඩුව පාර්ශවයෙන් මෙතෙක් ලැබී නොමැති බවයි. 

බැංකු පොලී අනුපාත අඩු කිරීම, විදුලිබිල අඩුකිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් ද අද පස්වරු 04 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර.

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති ද තීරණය කර තිබෙනවා. එම තත්ත්වය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගු කිරීමටයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පියවර ගෙන ඇත්තේ.

දුම්රිය සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා හෙට දිනයේ සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳ නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ විසින් දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දන්වා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කළා.

2023 පෙබරවාරි මස 27 වන දිනැති 2321/7 දරණ රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. කෙසේවෙතත් අද මධ්‍යම රාත්‍රියේ සිට සිය වැඩවර්ජනය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්රු එස් පී විතානගේ පැවසුවේ.  

දුම්රිය රියදුරන්ගේ සංගමය ද තීරණය කර ඇත්තේ අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමටයි. කෙසේවෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, දුම්රිය පාලක සංගමය හා දුම්රිය නියාමක සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට දිනයේ වැඩවර්ජනයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර. 

මේ අතර ගුරු හා විදුහල්පති සංගම් ද හෙට දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. 
මේ අතර හෙට දිනට නියමිත 09, 10 සහ 11 ශ්‍රේණිවල වාර විභාග කල්දැමීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම විභාග මාර්තු 21 සහ 22 යන දිනවල පැවැත්වීමට පියවර ගන්නා ලෙස කලාප හා කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් වෙත දැනුම්දුන් බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රී ලාල් නෝනිස් පැවසුවේ.

ඒ අනුව හෙට පැවැත්වීමට නියමිතව තිබූ 09 ශ්‍රේණිය, ගණිතය, සිංහල සහ දෙමළ විෂයන් මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතයි. 10, 11 ශ්‍රේණි සඳහා හෙට පැවැත්වීමට නියමිතව තිබූ චිත්‍ර, සංගීතය, නැටුම්, නාට්‍ය හා රංග කලාව සහ සිංහල, ඉංග්‍රීසි, දෙමළ, සාහිත්‍ය රසාස්වාද විෂයන් මාර්තු 22වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. 

මේ අතර හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග කල්දැමීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ද තීරණය කර තිබෙනවා.