Saturday, May 4, 2024

General line - 0115112241

වර්ජනය නිසා රාත්‍රි දුම්රිය කිහිපයක් නවතී




අද පස්වරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක් සහ රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා. ඒ, දුම්රිය රියදුරන් ඇතුළු දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රි 12 සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත පසුබිම තුළයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද මේවනවිට අවලංගු කර තිබෙනවා. 

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පියවර ගෙන ඇති බව ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.

හෙට දිනයේ සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳ නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ විසින් දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දන්වා ඇති බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

2023 පෙබරවාරි මස 27 වන දිනැති 2321/7 දරණ රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බව ද එම නිවේදනයේ සඳහන්. කෙසේවෙතත් අද මධ්‍යම රාත්‍රියේ සිට සිය වැඩවර්ජනය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්රු එස් පී විතානගේ පැවසුවේ.  

කෙසේවෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, දුම්රිය පාලක සංගමය හා දුම්රිය නියාමක සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට දිනයේ වැඩවර්ජනයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍යවරයා සමග අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.  

ගුරු හා විදුහල්පති සංගම් ද හෙට දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. 

මේ අතර හෙට දිනට නියමිත 09, 10 සහ 11 ශ්‍රේණිවල වාර විභාග කල්දැමීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම විභාග මාර්තු 21 සහ 22 යන දිනවල පැවැත්වීමට පියවර ගන්නා ලෙස කලාප හා කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් වෙත දැනුම්දුන් බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රී ලාල් නෝනිස් පැවසුවේ. හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග කල්දැමීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ද තීරණය කර තිබෙනවා.