Friday, May 3, 2024

General line - 0115112241

රුසියානු ප්‍රහාරක ගුවන් යානයක ගැටීමෙන් අමෙරිකානු ඩ්‍රෝන යානාවක් කඩා වැටෙයි 




රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සහ අමෙරිකාවේ ඩ්‍රෝන යානයක ගැටීමෙන් එම නියමුවන් රහිත යානය කළු මුහුදට කඩා වැටී ඇති බව ඇමරිකානු ආරක්ෂක අංශ පවසනවා.

සිය ඩ්‍රෝන යානය ජාත්‍යන්තර ගුවන් සීමාවේ සාමාන්‍ය මෙහෙයුමක යෙදී සිටියදී රුසියානු ජෙට් යානා දෙකක් එය බාධා කිරීමට උත්සාහ කළ බවයි අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කර සිටියේ.

අමෙරිකානු හමුදාවේ යුරෝපීය විධානය පැවසුවේ ඩ්‍රෝන යානය අනතුරට ලක්වීම "රුසියානු හමුදාවේ වෘත්තීය නොවන ක්‍රියාවක" ප්‍රතිඵලයක් බවයි.

අමෙරිකාව සහ මිත්‍ර හමුදා එම ප්‍රදේශයේ දිගටම ක්‍රියාත්මක වනු ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ වැඩිදුරටත් පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් රුසියාවෙන් මේ දක්වා නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

"අපගේ MQ-9 නියමුවන් රහිත ගුවන් යානය ජාත්‍යන්තර ගුවන් අවකාශයේ සාමාන්‍ය මෙහෙයුම් සිදු කරමින් සිටියදී එය රුසියානු ගුවන් යානයකට ගැටීමෙන් නියමුවන් රහිත යානය අනතුරට ලක් වීමෙන් පසු මුහුදට කඩා වැටී තිබෙනවා" යි අමෙරිකානු ගුවන් හමුදා ජෙනරාල් ජේම්ස් හෙකර් පැවසූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

MQ-9 රීපර් ඩ්‍රෝන් යනු ඉහළ උන්නතාංශ නිරීක්ෂණ සඳහා නිර්මාණය කර ඇති විශාල ප්‍රමාණයේ මිනිසුන් රහිත ගුවන් නිරීක්ෂණ යානාවක් වේ.