Friday, May 3, 2024

General line - 0115112241

ඩ්‍රෝන යානය නිසා අමෙරිකාව-රුසියාව අතර මත ගැටුම උත්සන්න වෙයි 




අමෙරිකාව සහ රුසියාව අතර මේ වන විට මතභේදාත්මක තත්ත්වයක්  උත්සන්න වී තිබෙනවා. ඒ ඊයේ දිනයේදී රුසියානු දේශ සිමාව ආසන්නයේ පිහිටි කළු මුහුද ආශ්‍රිත ජාත්‍යන්තර ගුවන් සීමාවේ සාමාන්‍ය මෙහෙයුමක නිරතව යෙදී සිටියදී අමෙරිකානු නියමුවන් රහිත ගුවන් යානාවක් රුසියානු ප්‍රහාරක ජෙට් යානාවක ගැටීමෙන් අනතුරට පත්වීමේ සිදුවීම හේතුවෙන්. 

අනතුරට ලක්වූ MQ-9 රීපර් වර්ගයේ එම ඩ්‍රෝන් යානය අඟහරුවාදා උදෑසන රුසියානු ප්‍රහාරක ජෙට් යානා දෙකක් විසින් හිතා මතාම බිම හෙළුනු ලැබූ බවයි අමෙරිකාව විසින් චෝදනාව කර සිටියේ.

2022 පෙබරවාරි මාසයේදී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසු අමෙරිකාව විසින් යුද පෙරමුණේ තොරතුරු රැස් කිරීමට නියමුවන් රහිත යානා යොදා ගනිමින් ජායාරූප ලබාගන්නා බවට ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි අද තහවුරු කර සිටියා.

මේ වන විට කඩා වැටුණු ඩ්‍රෝන යානාව කළු මුහුදු පත්ලේ ඇති බවට විසින් තහවුරු කර සිටින අතර එය සතුරු පාර්ශවයකගේ අතට පත්වීමට ඇති ඉඩකඩ අවම බවයි අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කර සිටින්නේ.

සිදුවීමෙන් පසු වොෂින්ටනය විසින් එරට පිහිටි රුසියානු තානාපති ඇනටෝලි ඇන්ටනොව් කැඳවා එම සිදුවීම 'ප්‍රකෝපකාරී ක්‍රියාවක්' බවට චෝදනා කර සිටියා.

මේ අතර රුසියානු තානාපතිවරයා අමෙරිකාවට අනතුරු ඇඟවමින් ප්‍රකාශ කර සිටියේ සිය රටේ දේශසීමා අසල 'වෙනත් පාර්ශව විසින් සිදුකරනු ලබන අනවශ්‍ය ගුවන් ගමන් නතර කළ යුතු බවයි. එසේ සිදුවූහොත් එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි.

කෙසේ වුවද රුසියානු තානාපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පසු ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශය ජෝන් කර්බි සඳහන් කළේ කළු මුහුද හරහා පියාසර කිරීමට සිය ගුවන් යානා වෙත අවසර දී ඇති බවයි.

කළු මුහුදට කඩා වැටුණු ඩොලර් මිලියන 32ක් වටිනා MQ-9 රීපර් ඩ්‍රෝන් යානය දිගු දුර නිරීක්ෂණ මෙහෙයුම් සඳහා සන්නද්ධ, මිනිසුන් රහිත ඔත්තු බැලීමේ ගුවන් යානයක් වන අතර එය ගොඩබිමේ පිහිටි මෙහෙයුම් මැදිරියක සිට නියමුවන් දෙදෙනෙකු විසින් පාලනය කරනු ලබනවා.

ඇතැම් විට සැතපුම් 5,000 ක් පමණ දුර ගමන් කිරිමට හැකි එම ඩ්‍රෝන යානයට පැය 20 ක් පියාසර කළ හැකි අතර අඩි 52,000 දක්වා ඉහළ සිට බුද්ධි තොරතුරු ලබා ගත හැකිය.

 ඉකුත් වසරේ ජූලි මාසයේදී ඇෆ්ගනිස්ථානයේ, කාබුල්හිදී අල් කයිඩා ප්‍රධානී අයිමන් අල්-සවාහිරි ඝාතනය කිරීමට CIA සංවිධානය විසින් යොදා ගනු ලැබුවේද  MQ-9 රීපර් ඩ්‍රෝන් යානාවක් වේ.