Friday, May 3, 2024

General line - 0115112241

රුසියාවේ ප්‍රධාන ඔත්තු සේවාවට අයත් ගොඩනැගිල්ලක පිපිරීමක් (VIDEO) 




යුක්රේනයේ සිට සැතපුම් 75ක් දුරින් පිහිටි රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවාවට අයත් ගොඩනැගිල්ලක පිහිටි ගබඩාවක වූ අවි ගබඩාවක් පුපුරා යාමෙන් එම ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

රුසියාවේ ප්‍රධාන ඔත්තු බළකාය වන FSB රහස් සේවයේ හිටපු ප්‍රධානියා ලෙස වත්මන් ජනාධිපති  ව්ලැඩිමීර් පුටින් ක්‍රියා කළ අතර එම බලකායට දේශසීමා ආරක්ෂකයින් ද ඇතුළත් වනවා.

අද උදෑසන දකුණු රුසියාවේ, Rostov-on-Don නගරයේ පිහිටි ෆෙඩරල් ආරක්ෂක සේවයට අයත් දේශසීමා මුර සංචාර අංශයට අයත් ගොඩනැගිල්ලේ පිපිරීම් මාලාවක් සමග මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් ගොඩනැගිල්ලේ සිටි එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර නගරයේ විශාල ප්‍රදේශයක් කළු දුමෙන් වැසි ගොස් ඇති බව සඳහන්.

ගින්නත් සමග සෑම තත්ත්පර 10කට වරක් ගොඩනැගිල්ලේ ඇති ආයුධ ගබඩාවෙන් පිපිරීම් ශබ්ද ඇසුණු බවයි නගර වැසියන් පැවසුවේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්රේනයට එරෙහිව සිදුකරනු ලබන යුද්ධයට විරුද්ධ පුද්ගලයින් විසින් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකරන්නට ඇති බවට එරට බලධාරීන් තුල සැකයක් මතුවී ඇතිවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

දකුණු රුසියේ ඇති වූ ගින්න පිළිබඳව යුක්රේනය වෙතින් මේ දක්වා නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි වාර්තා සඳහන් කර සිටින්නේ.