Thursday, May 2, 2024

General line - 0115112241

කන්න 03 කට පසු වී ගොවීන්ට හෙට සිට මඩ පොහොර නොමිලේ




වගා කන්න 03 කට පසුව මෙරට වී ගොවීන් සඳහා මඩ පොහොර හෙවත් ටී එස් පී හෙට සිට නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. 

ඒ අනුව මෙරට වී ගොවීන් ලක්ෂ 12 කට පමණ මෙම සහනාධාරට හිමිවනු ඇති. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ අමෙරිකානු ආධාර වැඩසටහනේ දායකත්වයෙන් මෙරටට ආනයනය කරන ලද මෙටි්‍රක් ටොන් 36,000 ක මඩ පොහොර තොගය නිල වශයෙන් මෙරටට බාරදීම අද පස්වරුවේ සිදු කෙරුණා.

මෙම පොහොර තොගය ඊජිප්තුවේ සිට මෙරටට ආනයනය කෙරුණු බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියා. 

එහිදී අදහස් දැක්වූ අමෙරිකානු තානාපතිනිය සඳහන් කළේ රටේ සහල් නිෂ්පාදනය වැඩිකර ගැනීම සඳහා ටොන් 45,000 කට අධික මඩපොහොර සහ අවස්ථා කිහිපයකදී යූරියා ද අමෙරිකානු ආධාර වැඩසටහනේ දායකත්වයෙන් මෙරටට ලබාදුන් බවයි. වසර 75 කට අධික කාලයක් අමෙරිකානු ජනතාව මෙරට ජනතාවට ලබාදුන් සහයෝගය ඉදිරියටත් ලබාදෙන බව ද ඇය සඳහන් කළා.