Sunday, May 19, 2024

General line - 0115112241

දේශපාලන පලිගැනීම් කොමිසමේ නිර්දේශ පිලිබඳ කැබිනට් මණ්ඩලය ගත් තීරණය ගැන නීතිපති අධිකරණයට දන්වයි




හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පරීක්ෂණ කොමිසම විසින් සිදු කර තිබෙන නිර්දේශ හා සොයා ගැනීම් වලට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග කිසිවක් නොගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව අදාළ කොමිසමේ නිර්දේශ හා සොයාගැනීම් පදනම් කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට  පොලිස් දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම හා නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ. එම කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැදවනු ලැබූ අවස්ථාවේදී නීතිපති සංජේ රාජරත්නම් විසින් මෙම දැනුම් දීම සිදු කළා.

මෙම පෙත්සම් අද කැඳවනු ලැබුවේ විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි.

අදාළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීමට පත් කෙරුණු ජනාධිපති කොමිසම විසින් සිදුකළ නිර්දේශ හා සොයාබැලීම් පිළිබඳව යළි විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කළ බව දන්වා සිටියා.

එම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය මේ වන විට අවසන් වී ඇති අතර එහි නිල කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට විධායකය තීරණය කර ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ. මේ අතර උපාලි අබේරත්න කොමිසම විසින් සිදුකළ නිර්දේශය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා නියෝගයක් නිකුත් කළ බවත් නීතිපතිවරයා එහිදී සිහිපත් කළා.

මෙම සියළු කරුණු සැලකිල්ලට ගෙන උපාලි අබේරත්න කොමිසම විසින් සිදුකර තිබෙන නිර්දේශ හා සොයා ගැනීම් සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් එබැවින් මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවත් නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා.

එම ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු වන උපුල් කුමරප්පෙරුම විරෝධය පළ කළා. අදාල කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගැනීමට අමාත්‍ය මණ්ඩලය මේ අවස්ථාවේදී තීරණය කර තිබුණත් අනාගතයේදී ඒවා යළි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයට හැකියාව තිබෙන බවයි නීතිඥවරයා එහිදී කියා සිටියේ.

එබැවින් අදාළ පෙත්සම් විභාග කොට අදාළ නිර්දේශ බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසද නීතිඥ උපුල් කුමාරප්පෙරුම අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩද විවෘත අධිකරණය කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන කරුණු අධිකරණය අගය කරන අතර අදාළ නිර්දේශ ක්‍රියාත්මක නොකරන බවට  ප්‍රතිඥාවක් ලබා දිය නොහැක්කේ මන්දැයි නීතිපතිවරයාගෙන් විමසා සිටියා.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් යළි ජූලි මස 18 වනදා කැඳවන ලෙසටයි එහිදී නියෝග කළේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් තමාට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ හා  සොයා ගැනීම් බලරහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපතිවරයෙකු වන ට්‍රැවිස් සින්නයියා, සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු විවිධ පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.