Sunday, May 19, 2024

General line - 0115112241

යුක්රේනයට නොදුන් නේටෝ සාමාජිකත්වය අද ෆින්ලන්තයට




ෆින්ලන්තයට අද නේටෝ සාමාජිකත්වය හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නේටෝ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් ඒ බව නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුව ෆින්ලන්තය නේටෝ සංවිධානයේ 31 වන සාමාජිකයා බවට පත් වනු ඇති. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමත් සමග ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා සිටියා. ඒ, ස්විඩනය ද සමගයි.

නේටෝ සංවිධානයට නව සාමාජිකයෙකු එක් වන්නේ නම් ඒ සඳහා වත්මන් සාමාජික රටවල් තිහේම අනුමැතිය හිමිවිය යුතු වනවා.

ඒ අනුව සාමාජික රටවල් 29 ක් ෆින්ලන්තයට කැමැත්ත පළ කළ නමුත් විවිධ කරුණු පදනම් කර ගනිමින් තුර්කිය, ෆින්ලන්තයට සිය අනුමැතිය ලබාදුන්නේ නැහැ. ඒ අනුව ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලබාගැනීම ප්‍රමාද වුණා. 

කෙසේවෙතත් තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් සහ එරට පාර්ලිමේන්තුව ඉකුත් සතියේදී ෆින්ලන්තයට නෝටෝ සාමාජිකත්වය ලබාදීමට අනුමැතිය ලබාදීමත් සමග පැවැති බාධා ඉවත් වී නොටෝවට සම්බන්ධවිමට ෆින්ලන්තයට අවස්ථාව උදාවී තිබෙනවා.

ෆින්ලන්තය සමග නේටෝ සාමාජිකත්වය සඳහා අයදුම් කළ ස්විඩනයට මෙතෙක් එම අවස්ථාව හිමිව නැහැ. ඊට හේතුව වන්නේ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් පදනම් කර ගනිමින් තුර්කිය සහ හන්ගේරියාව, ස්විඩනයට නේටෝ සාමාජිකත්වය ලබාගැනීම සඳහා අවසර ලබා නොදීමයි. 

කෙසේවෙතත් ෆින්ලන්තයට මෙලෙස නේටෝවේ සාමාජිකත්වය හිමිවන්නේ යුක්රේනය ද එහි සාමාජිකත්වය, ෆින්ලත්යටත් පෙර ඉල්ලා තිබූ පසුබිමක් තුළයි.  

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා ප්‍රධාන හේතුවක් වූයේ ද යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා සිටීමයි. යුක්රේනය නේටෝවට සම්බන්ධ වීම සතුරා දොරකඩට පැමිණීමක් ලෙස පවසමින් රුසියාව ඊට තරයේ විරෝධය පළ කළා.

කෙසේවෙතත් ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ යුක්රේනය පෙන්වා නේටෝව ෆින්ලන්තය හරහා රුසියාවේ දොරකඩට පැමිණ ඇති බවයි. 

මේ අතර ෆින්ලන්තයට නේටෝ සාමාජිකත්වය හිමවීම සම්බන්ධයෙන් ද රුසියාව දැඩි ලෙස විරෝධය පළ කරනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් බටහිර දේශසීමා කලාපය තුළ හමුදා ක්‍රියාකාරීත්වය ඉහළ නංවන බවයි. ෆින්ලන්තයට, රුසියාව සමග කිලෝ මීටර් 1300 ක් පුරා දිවෙන දේශසීමාවක් පවතිනවා.