Sunday, May 19, 2024

General line - 0115112241

මහ කන්නයේ වී මිලදී ගන්න තවත් රුපියල් බිලියන 03ක් වෙන් කරයි




මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා තවත් රුපියල් බිලියන 03 ක මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රජය මගින් වි මිලදී ගැනීමේ වැඩපිළිවෙල සඳහා මීට පෙර රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර තිබූ අතර ඊයේ දිනය වනවිට එම සම්පූර්ණ මුදලෙන්ම වී මිලදී ගෙන අවසන් වූ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

ඒ අනුව ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අතිරේක රුපියල් බිලියන 03 ක මුදලක් වී මිලදී ගැනීම සඳහා ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත් බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා.

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් වෙනුවට දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණා.

එලෙස මිලදී ගන්නා වී සහල් බවට පත් කර අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29 කට එක් පවුලකට මසකට සහල් කිලෝ ග්‍රෑම් 10 ක් බැගින් මාස 02 ක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මේවනවිට එම සහල් බෙදාදීම දිස්ත්‍රික් මට්ටමින් සිදු කෙරෙන අතර අවශ්‍ය වුවහොත් තවත් මාස කිහිපයක් එලෙස සහල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.