Sunday, May 19, 2024

General line - 0115112241

ටික්ටොක්වලට වැට බැඳීමට ඕස්ට්‍රේලියාවත් සැරසෙයි




ටික්ටොක් සඳහා තහනමක් පැනවීමට ඕස්ට්‍රේලියාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට රාජ්‍ය සේවය තුළ භාවිත වන රාජකාරීමය කටයුතු සඳහා භාවිත කරන දුරකථනවල ටික්ටොක් යෙදවුම භාවිත කිරීම තහනම් කිරීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ආරක්ෂක හේතූන් හා චීනයෙන් එල්ල විය හැකි මැදිහත්වීම් පාලනය කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය විසින් මෙම තීරණය ගෙන ඇති බව ද එරට පුවත්පත් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. අදාළ තහනම මෙම සතියේදී ගෙන එනු ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

බුද්ධි අංශ සහ ආරක්ෂක අංශවලින් ලද උපදෙස් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බව ද ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසා තිබෙනවා. 

අමෙරිකාව, බ්‍රිතාන්‍යය, නවසීලන්තය, කැනඩාව, බෙල්ජියම සහ යුරෝපානු කොමිසම මේවනවිටත් රාජකාරී දුරකථන හරහා ටික්ටොක් යෙදුම භාවිතය තහනම් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ටික්ටොක් හිමිකාරීත්වය දරන චීන සමාගම හරහා චීන රජයට පරිශීලකයින්ගේ රහස්‍ය දත්ත ප්‍රවේශවීමේ අවදානමක් පවතින බවයි.