Thursday, May 16, 2024

General line - 0115112241

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන පකිස්තානය කණස්සල්ලෙන්




රට දැඩි මූල්‍ය අර්බුදයක සිටියදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙතෙක් ණය සහනයක් ලබා නොදීම සම්බන්ධයෙන් පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව පකිස්තාන අග්‍රාමාත්‍යවරයා පවසන්නේ සිය රට අපේක්ෂා කරන ණය සහන පැකේජය ප්‍රමාද කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නිදහසට කරුණක් නොමැති බවයි.

ණය සහනයක් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය  සියලු ඇප කොන්දේසි පකිස්තානය විසින් සපුරා ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සිය රටට හිමිවූයේ කඩවුණු ගිවිසුමක් බවයි පකිස්තාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ.

ණය බරින් මිරිකි සිටිය ද පකිස්තානය යාචකයෙකු ලෙස කටයුතු නොකරන බව පකිස්තාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

පකිස්තානයේ මුතුන් මිත්තන් සහ විවිධ පරම්පරාවන් මාතෘභූමිය වෙනුවෙන් කැපකිරීම් රැසක් කර ඇත්තේ යාචකයෙකු ලෙස කටයුතු කිරීමට නොවන බව ද   පකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින පකිස්තානයේ ආර්ථිකය කඩා වැටීමට ආසන්න වී ඇති බැවින් පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කඩිනම් ණය වාරිකයක් අපේක්ෂා කරනවා.

එහෙත් මේ දක්වා එම ණය සහනය හිමිව නැහැ.