Thursday, May 16, 2024

General line - 0115112241

සුඩානයට පැය 24 ක සටන් විරාමයක්




සුඩානය තුළ පැය 24 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රජයේ හමුදාව සහ නිල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් යන දෙපාර්ශවයම සටන් විරාමය සඳහා කැමැත්ත පළ කර ඇති බවයි.

ඒ අනුව එරට වේලාවෙන් අද පස්වරු 06 සිට බලපැවැත්වෙන පරිදි එම සටන් විරාමය ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඒ අනුව කාටුම් අගනුවර දකුණු ප්‍රදේශයේ ගැටුම් නතර වී ඇති නමුත් අගනුවර සෙසු ප්‍රදේශ කිහිපයක පවතින්නේ සතුටුදායක තත්ත්වයක් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර සුඩානයේ අගනුවර රෝහල්වල කටයුතු අඩපණ වී ඇති බව ද වාර්තා වනවා. ඊට හේතුව වන්නේ වෛද්‍යවරුන්ට සහ අනෙකුත් රෝහල් කාර්යය මණ්ඩල සඳහා සිය සේවා ස්ථාන වෙත වාර්තා කිරීමට නොහැකි වීමයි.

දින කිහිපයක් පුරා සුඩාන හමුදාව සහ අවි ගත් කණ්ඩායම් අතර පවතින දරුණු සටන් හමුවේ පුද්ගලයින් 200 කට අධික පිරිසක් මියගොස් තවත් 2000 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.