Tuesday, May 14, 2024

General line - 0115112241

යේමනයේ පාසලක සිදුවූ තෙරපීමකින් 78 දෙනෙකු මිය යයි




යේමනයේ සනා අගනුවර පිහිටි පාසලක සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් තිබෙනවා. සිද්ධියෙන් තවත් සිය ගණනක පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රාමසාන් උත්සවය සැමරීම සඳහා වෙළෙන්දුන් විසින් පිරිනමනු ලබන ඩොලර් 10 ක පමණ පරිත්‍යාගයක් ලබා ගැනීම සඳහා බොහෝ පිරිසක් අදාළ පාසලට රැස්ව තිබෙනවා. එහිදී රැස්ව සිටි පිරිස ආධාර ලබා ගැනීම සඳහා එකවර ඉදිරිපත් වීමේදී තෙරපීම සිදුව ඇතැයි සඳහන්. 

කෙසේවෙතත් සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ හුදී කැරලිකරුවන්, පිරිස පාලනය කිරීම සඳහා අහසට වෙඩි තබා ඇති බවයි. එහිදී විදුලි රැහැනකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී එය පුපුරා ගොස් ඇති බවද සඳහන්.

පසුව උත්සවය සංවිධානය කළ වෙළෙඳුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සිද්ධියෙන් ඥාතියෙකු අහිමි වූ සෑම පවුලකටම වන්දි වශයෙන් ඩොලර් 2,000 ක වන්දියක් ප්‍රදානය කරන බවයි හුදීවරුන් පවසා ඇත්තේ.