Tuesday, May 14, 2024

General line - 0115112241

ඉන්දීය පාසල් පෙළපොත්වලින් එරට ඉතිහාසයේ තීරණාත්මක කොටස් කිහිපයක් ඉවත් කරයි




ඉන්දීය පාසල් පෙළපොත්වලින් එරට ඉතිහාසයේ තීරණාත්මක කොටස් කිහිපයක් ඉවත් කර තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ එරට ඉතිහාසයේ ප්‍රධාන කොටසක් වන මෝගල් පාලකයන් පිළිබඳ පරිච්ඡේදයක් මකා දැමීමයි. මේ සමඟම පාසල් දරුවන්ට ඉතිහාසය ඉගැන්විය යුතු ආකාරය පිළිබඳ යළිත් විවාදයක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ස්වාධීන සංවිධානයක් වන ජාතික අධ්‍යාපන පර්යේෂණ හා පුහුණු කවුන්සිලය විසින් නව පෙළපොත් මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහිදී මෝගල් පාලකයන් පිළිබඳ පරිච්ඡේදය පමණක් නොව මහත්මා ගාන්ධිතුමන්ගේ ඝාතනය සහ 2002 ගුජරාට් ප්‍රාන්තයේ ඇති වූ කෝලාහල පිළිබඳ ඇතැම් කොටස් ද ඉවත් කර තිබෙනවා.

එය සිදුකළ අධ්‍යාපනඥයින් පවසන්නේ මෙමඟින් දරුවන්ගේ දැනුමට බලපෑමක් සිදුනොවන බවයි. කොවිඩ් 19 වසංගතයෙන් පසු දරුවන් මත පැටවෙන බර අඩු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවද ඔවුන් පවසනවා.

එහෙත් විචාරකයින් පවසන්නේ සිසුන්ගේ රට පිළිබඳ අවබෝධයට මෙය බලපාන බවයි. ශතවර්ෂ ගණනාවක් පුරා ඉන්දීය උපමහාද්වීපයේ විශාල ප්‍රදේශයක් පාලනය කළ මෝගල්වරුන්, ඉන්දියානු ඉඩම් කොල්ලකෑම සහ රටේ හින්දු ශිෂ්ටාචාරය දූෂණය කළ විදේශීය ආක්‍රමණිකයන් ලෙස එරට බොහෝ දක්ෂිණාංශික ක්‍රියාකාරීන් සහ ඉතිහාසඥයින් විසින් හඳුන්වනු ලබනවා.