Saturday, May 4, 2024

General line - 0115112241

කුවේටයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවයේ නිරතව සිටි පිරිසක් කටුනායකට

ටී කේ ජී කපිල




මෙරටට පැමිණීමට නොහැකිව දිගු කාළයක් කුවේටයේ රැදී සිටි එරට ගෘහ සේවයට ගිය ශ්‍රී ලාංකික 52 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

දෙරටේ බලධාරීන්ගේ මැදිහත්වීමෙන් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර මත ඔවුන් මෙරටට ගෙන්වා ඇති බවයි කටුනායක ගුවන් තොටුපොල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම පිරිස අතර කාන්තාවන් 35 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 17 දෙනෙකු සිටි බවයි කටුනායක ගුවන් තොටුපෙfාල නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ. ඔවුන් අනුරාධපුරය , ගාල්ල , කොළඹ සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. 

මෙම පිරිස කුවේටයේ ගෘහ සේවයට ගොස් පසුව එම නිවාසවලින් ඉවත්වී වෙනත් ස්ථානවල සේවය කර තිබෙනවා. ඔවුන්ට මෙරටට පැමිණීම සදහා අවශ්‍ය ලියකියවිලි නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වීමෙන් අනතුරුව, එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මැදිහත්වීම මතයි මෙරටට එවා ඇත්තේ.  

මෙම කණ්ඩායම කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  ලියාපදිංචි වී ශ්‍රී ලංකාව වෙත එවා තිබූ පස් වන කණ්ඩායම බවද නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.