Monday, May 13, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්




සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හදුන්ගොඩට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබෙනවා. ඒ, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට හා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූටියුබ් නාලිකාව ඔස්සේ උඩුගත කිරීම වළක්වමින්.

අදාල අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම විසින් මෙම වාරණ නියෝග නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අදාළ වාරණ නියෝගය ලබන 10 වන දක්වා බලපැවැත්වෙන බවත් අධිකරණය නියෝග කළා.

දැඩි මතභේදයට තුඩු දී තිබෙන එස්ප්‍රස් පර්ල්  වන්දි නඩුව සම්බන්ධයෙන් අසත්‍ය කරුණු යූටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රචාරය කිරීමද මෙම වාරණ නියෝගය තුළින් තහනම් කර තිබෙනවා.

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවෙර ද සොයිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වාදී තිබුණේ විත්තිකරු විසින් පසුගිය 20 වැනි දින අදාළ අසත්‍ය තොරතුරු සහිත වීඩියෝවක් යූටියුබ් නාලිකාවකට උඩුගත කර ඇති බවයි. ඒ තුළින් සිය සේවාදායකයින්ට වැඩි අපහාසයක් සහ අගතියක් සිදු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එසේ අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම තුළින් පැමිණිලිකරුවන්ට සිදු වූ  අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක හා රුපියල් මිලියන 500 බැගින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා මෙම පැමිණිලි දෙක මගින් ඉදිරිපත් කර තිබෙනවා.