Thursday, May 9, 2024

General line - 0115112241

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අමෙරිකාව තහනමක් පනවයි 




වත්මන් වයඹ පළාත් ආණ්ඩුකාර සහ හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට අමෙරිකාව සිය රටට ඇතුල්වීම තහනම් කර තිබෙනවා. 

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාට සහ ඔහුගේ බිරිඳ වන ශ්‍රීමති අශෝකා කරන්නාගොඩ හට මෙලෙස අමෙරිකාවට ඇතුල්වීම තහනම් කර ඇති බවයි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බිලින්කන් ද ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ " එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා ආණ්ඩුකාර හා විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙන් නම් කරයි. අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් වින්දිතයන් සඳහා සත්‍යය සහ යුක්තිය සෙවීම අඛණ්ඩව කරගෙන යන බවයි."

රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ මගින් ලේඛනගත කරන ලද හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ බරපතල මානව හිමිකම් කඩකිරීමක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාව බරපතළ සහ විශ්වසනීය බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.