Thursday, May 9, 2024

General line - 0115112241

නීති උපදෙස් නොතකා එක්ස්ප්‍රස් පර්ල් නඩුව සිංගප්පූරුවට ගෙන ගිය බවට අනාවරණයක්




නීතිපතිවරයා සහ නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර පසුගියදා පැවති රැස්වීමේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවූ හානිය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ නඩු පැවරීම පිළිබද කිසිදු එකගතාවකට නොපැමිණි බව සාගර නීතිය පිළිබද විශේෂඥයකු වන ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර පවසනවා.

බහුතරයක් නීති විශාරදයින් පවසා සිටියේ නඩුව මෙරටදී ගොනු කිරීම වාසි සහගත බවයි.

මීට පෙර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් පත්කළ නීති ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් කමිටු වාර්තාවේද සදහන් වූයේ මෙරට නඩු පැවරීම යෝග්‍ය බව යැයි ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර පෙන්වා දුන්නා. 

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළ පරිසර හා අනෙකුත් හානියට අදාළ  වන්දි මුදල් ලබා ගැනීමේ කටයුතු පිළිබද විමර්ශනය සදහා පාර්ලිමේන්තුවේ පැවති පරිසර කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.

එම කාරක සභාව සදහා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, සාගර නීතිය පිළිබද ප්‍රවීණයන්, විද්වතුන්, පරිසර සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් කැඳවා තිබූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

කෙසේවෙතත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවූ හානිය සම්බන්ධයෙන් අදාළ වන්දි මුදල ලබාගැනීම සදහා ශ්‍රී ලංකා බලධාරීන් සිංගප්පූරුවේ නඩු පවරා තිබෙනවා.

මේ අතර මෙවැනි ආපදා අවස්ථාවලදී මෙරටට ලබා ගත හැකි උපරිම වන්දි ප්‍රමාණය ලබා ගැනීම සදහා ක්‍රියාකර ඇති ආකාරයේ ගැටලු පවතින බවද මෙහිදී පැමිණ සිටි විද්වතුන් පෙන්වා දී තිබෙනවා.

මීට පෙර සිදුවූ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරට අදාළව නඩු පැවරීම ප්‍රමාද වූ බවත් නඩු පැවරීමට අදාළ කාල සීමාව අවසන් වීමට දින දෙකකට පෙර නඩු පැවරීම සිදුවූ බවත් මහාචාර්ය රුචිරා කුමාරතුංග එහිදී කරුණු දක්වා තිබෙනවා.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් දෙදෙනෙක් විදෙස්ගතව සිටි බැවින් අදාළ ලිපිගොනු ලබා ගැනීම පවා අපහසු වූ බවත් නැවත සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ලිපිගොනු ලබා ගෙන නඩු පැවරීමට සිදුවූ බවත් ඇය පැවසුවා.