Wednesday, May 8, 2024

General line - 0115112241

මහරගම නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සැදැහැවතුන්ගෙන් පිරී යයි




පොසොන් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය දෙවන දිනටත් මහරගම ජාතික තරුණ සේවා සභාවේදී මේ වන විට ක්‍රියාත්මකයි.

නෙත් ඔබගේම ශ්‍රාවක දායකත්වයෙන් ගොඩනැගූ කූරගල රජ මහා විහාරයේ සුගන්ධ කුටියේ වැඩ වසන උතුම් වූ සර්වඥධාතුන් වහන්සේ, කේෂ ධාතූන් වහන්සේ සහ විසි නමක් වූ මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ ඔබට වන්දනා කිරීමට මෙහිදී අවස්ථාව සැලසෙනවා.

අද පෙරවරුවේ සිට විශාල සැදැහැවතුන් පිරිසක් ධාතු නමස්කාරය පැවැත්වෙන මහරගම ජාතික තරුණ සේවා සභාවට පැමිණෙමින් සිටින බවයි එහි සිටින නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර පැවසුවේ. 


හෙට රාත්‍රිය දක්වා මහරගම ජාතික තරුණසේවා සභාවේදී ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ඔබට හැකියාව පවතිනවා.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් පුරා දින 18ක් මෙම අසිරිමත් මහා පිංකම පැවැත්වෙන බවයි කූරගල රජමහා විහාරාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් පැවසුවේ. 

ලබන 05 වනදා දහවල් සිට ජුනි මස 08 වනදා පෙරවරුව දක්වා ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව උදාවෙන්නේ පැල්මඬුල්ල, රිල්හේන ශ්‍රී අභයවර්ධනාරාමයේදීයි.