Friday, May 10, 2024

General line - 0115112241

රුසියාව යටතේ පැවැති නගර 03 යුක්රේනය යලි අල්ලයි




රුසියාවට එරෙහිව ආරම්භ කළ ප්‍රතිප්‍රහාරවල පළමු ජයග්‍රහණය අත්පත් කර ගත් බව යුක්රේනය පවසනවා.

ඒ, යුක්රේනයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ රුසියානු හමුදාව යටතේ පැවැති ගම්මාන 03 ක් මුදා ගැනීමෙන් අනතුරුවයි.

ඩොනෙට්ස්ක් ප්‍රදේශයට යාබද බ්ලහොඩට්නේ සහ නෙස්කුච්නේ මෙන්ම මකරිව්කායන ප්‍රදේශ යුක්රේන හමුදාව විසින් එලෙස අත්පත් කර ගෙන තිබෙනවා.

එම ප්‍රදේශවල බලය අල්ලා ගැනීමෙන් අනතුරුව යුක්රේ හමුදා ජය සමරන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ පිළිබඳ වාර්තා පල වන්නේ රුසියාවට එරෙහිව දැවැන්ත ප්‍රති ප්‍රහාරයක් ආරම්භ කළ බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසා ඇති පසුබිමක් තුළයි.

ඉකුත් සෙනසුරාදා කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සංචාරයක් සඳහා හදිසියේම යුක්රේනයට පැමිණියා.

යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි රුසියාවට එරෙහි ප්‍රතිප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණේ කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ යුක්රේන සංචාරය අතරතුර බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

කෙසේවෙතත් යුක්රේන හමුදාව ප්‍රදේශ  03 ක බලය යළිත් තමන් සතු කර ගත් බවට සිදු කරන් ප්‍රකාශ සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.