Tuesday, May 7, 2024

General line - 0115112241

ලබන මහ කන්නයේදී මෙරට හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගාවක්




ලබන මහ කන්නයේදී මෙරට හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් කළ යෝජනාවකට අනුවයි.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන මඟින් ඊට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

එම අරමුදලේ මෙරට නියෝජිත හා ආසියානු හා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා ෂෙරීනා ටබසුම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමුවී අදාල ව්‍යාපෘතිය සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. 

මෙරට සත්ව ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියට හෙක්ටයාර් 16,000ක් තෝරාගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසුවේ.

ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, පොලොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්ක ඉළක්ක කර ගනිමින් එම බඩඉරිඟු ව්‍යාපෘතිය ලබන මහ කන්නයේ දී ආරම්භ කෙරෙනවා.

උසස් තත්ත්වයේ දෙමුහුම් බීජ, රසායනික පොහොර, බිම් සැකසීමට අවශ්‍ය පහසුකම් මෙන්ම ව්‍යාපෘතිය මගින් තෝරාගන්නා ලද බඩඉරිගු වගා කරන ගොවීන්ට නැවත අය කර නොගන්නා මුල්‍ය පහසුකම් ද ලබා දීමට නියමිතයි.

එමෙන්ම ලබන වසරේ සිට මෙරට පශු සම්පත් සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ද ලබා දීමට මෙම සාකච්ඡාවේදී එකඟත්වය පළවී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත් කෙරෙන විදේශ අරමුදල් මත ක්‍රියාත්මක නව ව්‍යාපෘතියක් වන කෘෂිව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය  වැඩසටහන  යටතේ මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතයි.