Friday, May 3, 2024

General line - 0115112241

ඖෂධ, එන්නත් සහ වෛද්‍ය උපකරණ හිගයක් ද ?




භාවිතයෙන් ඉවත් කර ඇති රථ වාහන රැසක් නැගෙනහිර කොළඹ මූලික රෝහල් භුමියේ කොටසක (මුල්ලේරියාව රෝහල) ගාල් කර ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

එලෙස ගාල් කර ඇති රථවාහන අතර වෑන් රථ, මෝටර් රථ, කුඩා බස් රථ මෙන්ම ගිලන් රථ රැසක් ද වනවා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ වැඩිදුර සොයා බැලීමකදී අනාවරණ වුණේ එලෙස රථවාහන ගාල් කර ඇති භූමිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ පවතින බවයි.

ආවරණයක් හෝ නොමැතිව ගාල් කර ඇති මෙම රථවාහන වැස්සට නිරාවරණය වීම හේතුවෙන් දිරාපත් වී තිබෙන අයුරු ද දැකගත හැකියි.

මෙම රථවාහන තවදුරටත් මෙම ස්ථානයේ මේ අයුරින් ගාල්කර තැබුවහොත් ඒවා තවදුරටත් දිරාපත් වීමට ලක්වනවා.

එබැවින් එහි ඇති රථවාහන අතර තවදුරටත් භාවිතයට ගත හැකි තත්ත්වයේ පවතින රථවාහන වේ නම් ඒවා අලුත්වැඩියා කිරීමට පියවර ගත හොත් රෝහල් කටයුතු සඳහා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කළ හැකියි.

එම රථවාහන මේවනවිටත් පවතින්නේ අලුත්වැඩියා කර හෝ භාවිතයට ගත නොහැකි තත්ත්වයේ නම් ඒවා තවදුරටත් දිරාපත්වීමට පෙර අබලි ද්‍රව්‍ය ලෙස අලෙවි කර  ආදායමක් ලබා ගත හැකි බව නෙත් නිවුස් කරන යෝජනාවයි.

රට තුළ පවතින ආර්ථික ගැටළු හමුවේ රෝහල් තුළ මේවනවිට ඖෂධ, එන්නත් සහ වෛද්‍ය උපකරණ හිගයක් ද පවතිනවා.

එවන් පසුබිමක් තුළ මෙලෙස භාවිතයෙන් ඉවත දමා ඇති රථවාහන අලෙවි කර ඉන් හිමිවන ආදායම රෝහල් කටයුතු සඳහා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ හෝ වෙනත් වියදමක් පියවා ගැනීම සඳහා යොදා ගත හැකි බවයි නෙත් නිවුස් යෝජනා කරන්නේ.

එබැවින් මෙම රථවාහන තවදුරටත් දිරාපත්වී අබලි ද්‍රව්‍ය ලෙස හෝ භාවිත කිරීමට නොහැකි තත්ත්වයකට පත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු පියවරක් ගන්නා ලෙස නෙත් නිවුස් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට යොමු කරනවා.