Saturday, May 4, 2024

General line - 0115112241

ඔක්සිජන් පැය 07 යි , ටයිටැනික් ළඟ සබ්මැරීනය තවමත් අතුරුදන්




අත්ලන්තික් සාගර පතුලේ පවතින ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය පිරිස රැගත් සබ්මැරීනයකට සමාන කුඩා යාත්‍රාව පිළිබඳ තැබිය හැකි බලාපොරොත්තු බොඳ වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තාවන්ට අනුව යාත්‍රාව තුළ ඇති ඔක්සිජන් ප්‍රමාණය අවසන්වීමට ඇත්තේ තවත් පැය 07 ක පමණ කාලයක්. ඊට හේතුව වන්නේ බ්‍රිතාන්‍ය වේලාවෙන් අද දහවල් 12 යි 18 වනවිය යාත්‍රාව තුළ ඇති ඔක්සිජන් ප්‍රමාණය අවසන් වීමයි.

සබ්මැරීනය තුළ පවතින ඔක්සිජන් ප්‍රමාණය අවසන් පැය කිහිපයට එළඹෙද්දී එහි සිටින පුද්ගලයින් 05 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මතුකර ඇත්තේ බියක්.

ඊට හේතුව වන්නේ සාගර පතුලේ පවතින අධික ශීතල යාත්‍රාව තුළ සිටින පිරිසට දැඩිව බලපෑම් එල්ල කිරීමයි.

ඝණ අඳුරේ ගැඹුරු සාගරයේ ඇති ඔවුන්ගේ යත්‍රාව තුළ ඔක්සිජන් අවසන්වීමත් සමග ඔවුන් පිටකරන කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් සබ්මැරීනය පිරීයන බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ.

දැනට පවතින තොරතුරු අනුව කුඩා යාත්‍රාව තුළ එහි රැස්වන කාබන්ඩයොක්සයිඩ් වායුව පිටකිරීමේ ක්‍රමයක් නැහැ. දෑත් දෙපා දිග හැර අසුන් ගෙන සිටීමට හෝ පහසුකමක් නොමැති යාත්‍රාව තුළ ආහාර හා ජලය ඇති ද යන්න ද අවිනිශ්චිතයි.

එහෙත් යාත්‍රාව සොයා ගැනීමේ උත්සහය අතනොහරින බව අමෙරිකානු, බ්‍රිතාන්‍ය , ප්‍රංශ හා කැනේඩියානු ජීවිතාරක්ෂක කණ්ඩායම් පවසනවා.

ඔවුන් මේවනවිටත් ටයිටැනික් නෞකාවේ සුන්බුන් පවතින අත්ලන්තික් සාගර පතුල ඇතුළුව සාගරයේ විශාල කලාපයක් සෝදිසි කර අවසන්.

එම සාගර කලාපය අමෙරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තය මෙන් දෙගුණයක් බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් කුඩා යාත්‍රාවේ හෝඩුවාවක් හෝ සොයා ගැනීමට මෙතෙක් කිසිඳු පාර්ශවයකට හැකිවී නැහැ.

ඉන් නැගුනු හඬක් යැයි සැකකෙරෙන හඬක් පිළිබඳ කැනේඩියානු ගුවන් හමුදාව අනාවරණ කළ ද එවැන්නක් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.