Saturday, May 4, 2024

General line - 0115112241

ඇමරිකාවට ගිය ඉන්දීය අගමැති මෝදි කළ දේ 




ලොව ප්‍රකට විද්‍යුත් මෝටර් රථ නිපදවන ටෙස්ලාහි (Tesla) ප්‍රධාන විධායක එලෝන් මස්ක් පවසා ඇත්තේ සිය මෝටර් රථ සමාගම වේගයෙන් වර්ධනය වන වෙළඳපොලක් වන ඉන්දියාවේ ඉක්මනින් ආයෝජනය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග නිව්යෝර්ක් හි පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එලෝන් මස්ක් මේ බව පවසා ඇත.

අගමැති මෝදි පසුගිය 20වැනිදා එක්සත් ජනපදයට පැමිණීමෙන් පසු මුණගැසුණු ව්‍යාපාරික නායකයන් 20 දෙනා අතර ලොව අංක එකේ ධනපතියා වන එලෝන් මස්ක් ද සිටී. 

“මෝදි සැබවින්ම ඉන්දියාව ගැන සැළකිලිමත් වන්නේ ඔහු ඉන්දියාවේ සැළකිවයුතු ආයෝජනයක් කිරීමට අපව පොළඹවන බැවිනි, එය අප කිරීමට අදහස් කරන දෙයක්. අපි උත්සාහ කරන්නේ නිවැරදි වේලාව සොයා ගැනීමටයි” යැයි මස්ක් පවසා ඇත.

මේ ඉන්දීය අගමැතිවරයාගේ එක්සත් ජනපද සංචාරය සම්බන්ධයෙන් පළ ව ඇති එක් වාර්තාවකි. මීට අමතරව සිය සංචාරයේ දින කිහිපය ඇතුළත අගමැතිවරයාට මෙවැනි වැදගත් හමුවීම් රැසක්ම දී තිබේ. ලොව පස්වන විශාලතම ආර්ථිකය හිමි ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ලොව අංක එකේ ආර්ථික බලවතා වන එක්සත් ජනපදයේ පස්දින සංචාරයක් සඳහා පිටත්ව ගියේ පසුගිය 20 වැනිදාය. අගමැති මෝදි ජුනි 21 වන දින ඉන්දීය වේලාවෙන් අලුයම 1.30 ට වොෂින්ටනයේ ඇන්ඩෲස් ගුවන් හමුදා කඳවුරට ගොඩබැසීය.

සිය එක්සත් ජනපද සංචාරයේදී කාර්යබහුල කාලසටහනක් සකස් කරගෙන ඇති අගමැතිවරයා, පෙරකී ලෙස ඉහළම ඇමරිකානු ප්‍රධානීන් හමුවිය.

විශේෂයෙන්ම 21වැනිදා ඔහු එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උත්සවයටද නායකත්වය ලබාදුන්නේය.

එහිදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ එක්සත් ජනපදයේ නිල රාජ්‍ය සංචාරය වෙනුවන් සම්මානලාභී ජාත්‍යන්තර ගායිකා මේරි මිල්බෙන් සිය ගායනාවන්ද ඉදිරිපත් කරනු ලැබීය. 2014 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ජූනි 21 ජාත්‍යන්තර යෝගා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවක් සම්මත කරගෙන ඇත.

මෙය වසර 09 කට පසු අගමැති මෝදි සිදුකරන පළමු එක්සත් ජනපදයේ රාජ්‍ය සංචාරයයි. ඔහුට පෙර හිටපු අගමැති මන්මෝහන් සිං 2009 නොවැම්බර් මාසයේදී එක්සත් ජනපදයේ සංචාරයක නිරත විය. වාර්තා වලට අනුව, යෝගා ඉසව්ව අවසන් කිරීමෙන් පසු අගමැති මෝදි වොෂින්ටන් ඩීසී වෙත පිටත්ව යනු ඇති අතර, එහිදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සහ ජනාධිපති ආර්යාව වන ජිල් බිඩෙන් ඔහු වෙනුවෙන් පෞද්ගලික රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ඇත.

එසේම ජූනි 23 වෙනිදා, අගමැති මෝදි වෙනුවෙන් එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් සහ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් විසින් දිවා භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබේ.

මේ අතර මෝදි සහ බයිඩන් අතර හමුවේදී විශේෂයෙන් දෙරට අතර ආයුධ ගිවිසුම් වලට එළඹෙනු ඇති බවට විශ්ලේෂකයන් අනාවැකි පළකර තිබේ. ඉන්දියාව දිගු කලක් තිස්සේ එක්සත් ජනපදයෙන් SeaGuardian ඩ්‍රෝන යානා මිලදී ගැනීමට උනන්දු වී ඇත.

එහෙත් ඩොලර් බිලියන 2 සිට ඩොලර් බිලියන 3 දක්වා වටිනාකමක් ඇති, තවමත් ක්‍රියාත්මක වී නොමැති මෙම ගනුදෙනුව “නිලධාරී බාධා කිරීම්” මගින් දිගු කලක් තිස්සේ ප්‍රමාදවී තිබේ. මෙම ඩ්‍රෝන යානා මගින් ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට “බුද්ධි-අධීක්ෂණ-ඔත්තු බැලීමේ හැකියාවන්” වැඩිදියුණු කරන අතර එමඟින් චීනය සහ පාකිස්තානය සමඟ දේශසීමා ආරක්ෂා කර ගැනීමට රටට උපකාර වන බව වාර්තා සඳහන් කරයි. මීට අමතරව එක්සත් ජනපදයේ පෞද්ගලික අංශ ප්‍රහාරක ජෙට් එන්ජින් නිෂ්පාදනය කිරීම සඳහා දෙරට එක්ව කටයුතු කිරීමට සූදානම් වීමත් සමඟ ඉන්දියාව තුළ වඩාත් වැදගත් ආයෝජන සිදු කිරීම ආරම්භ වීමද මෙම සංචාරය හරහා සිදුවනු ඇතැයි පැවැසේ. 

අගමැති මෝදිගේ ඇමෙරිකානු සංචාරය පවතින වඩාත්ම විශේෂිත අවස්තාවක් වන්නේ ඔහු එක්සත් ජනපද පාර්ලිමේන්තුව ඇමතීමයි. එක්සත් ජනපදයේ ඉහළම නීති සම්පාදකයන් විසින් අගමැති නරේන්ද්‍ර මෝදි වොෂින්ටන් ඩීසී හි සංචාරය කරන අතරතුර 'කොංග්‍රසය' ඇමතීමට ආරාධනා කර ඇත. මෙය එක්සත් ජනපදයේ සමීපතම හිතවතුන්ට පමණක් ලබාදෙන දුර්ලභ අවස්ථාවකි. සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් නායකයෝ පසුගිය සතියේ සිකුරාදා අගමැති මෝදි වෙත ලිපියක් යවමින් සිය ආරාධනය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ජූනි 22දා අගමැතිවරයාගේ දේශනය දෙරට අතර “කල්පවත්නා මිත්‍රත්වය” වර්ධනය කරනු ඇති බවයි.

"ගෝලීය සාමය සහ සමෘද්ධිය සඳහා අපගේ හවුල් වටිනාකම් සහ කැපවීම මත පදනම්ව, අපගේ දෙරට අතර හවුල්කාරිත්වය අඛණ්ඩව වර්ධනය වේ" යනුවෙන් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් නායකයන් යොමුකළ ලිපියේ සඳහන් වේ.
"ඔබේ දේශනය අතරතුර, ඉන්දියාවේ අනාගතය සඳහා පවතින ඔබේ දැක්ම බෙදාගැනීමට සහ අපගේ රටවල් දෙකම මුහුණ දෙන ගෝලීය අභියෝග පිළිබඳව කතා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත" යැයි එම ලිපියේ වැඩිදුරටත් පවසා තිබේ. අගමැති මෝදි 2016 දී එක්සත් ජනපද නීති සම්පාදකයන් අමතා අන්තර්ජාලය ඔස්සේ සිදුකළ දේශනයකින් පසුව, කොංග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරයක් අමතනු ලබන දෙවන අවස්ථාව මෙය වේ.

ඉන්දීය අගමැති මෝදිගේ එක්සත් ජනපද සංචාරය සිදුවන්නේ ඇමෙරිකාව සහ චීනය අතර තීව්‍ර තරඟයක් මධ්‍යයේය. එසේම  ඉන්දියාව දැන් ජනගහනය අනුව ලෝකයේ විශාලතම රට සහ ප්‍රධාන භූ දේශපාලනික හා ආර්ථික බලවතෙක් බවට පත්ව සිටී. එක්සත් රාජධානිය පරයමින් ලොව පස්වන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත්වූයේ පසුගිය වසරේදීය. එක්සත් ජනපද නිලධාරීන් විසින් මේ මොහොතේ ඉන්දියාව ආසියා-පැසිෆික් කලාපයේ තම වැදගත් පාර්ශ්වකරුවකු ලෙස නිරන්තරයෙන් ප්‍රශංසා කරනු ලබයි. ඊට සමගාමීව දකුනු චීන මුහුදට චීනය හිමිකම් කීම ඇතුළු කරුණු ගණනාවක් එක්සත් ජනපදයේ දැඩි විවේචනයට ලක්ව ඇත. ධවල මන්දිරය පසුගිය මාසයේ අගමැති මෝදිගේ සංචාරය නිවේදනය කරමින් සඳහන් කළේ, ජාතීන් දෙක අතර "ගැඹුරු සහ සමීප හවුල්කාරිත්වය තහවුරු කිරීම" සඳහා ජනාධිපති ජෝ බයිඩෙන් ඔහුට සත්කාරකත්වය සපයනු ඇති බව පවසමිනි.

"නිදහස්, විවෘත, සමෘද්ධිමත් සහ සුරක්ෂිත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා අපගේ දෙරටේ හවුල් කැපවීම සහ ආරක්‍ෂාව, පිරිසිදු බලශක්තිය සහ අභ්‍යවකාශය ඇතුළුව අපගේ උපායමාර්ගික තාක්‍ෂණ හවුල්කාරිත්වය ඉහළ නැංවීම සඳහා දෙරටේ හවුල් අධිෂ්ඨානය මෙම සංචාරය ඔස්සේ ශක්තිමත් කරනු ඇත" යනුවෙන් මැයි 10 වැනිදා නිකුත් කළ එම ප්‍රකාශයේ සඳහන් විය.

එක්සත් ජනපද බයිඩන් පරිපාලනය මෑත වසරවලදී ඉන්දියාව සමඟ පවතින සබඳතා වඩාත් ගැඹුරු කර ඇත. ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව සහ ජපානය ද ඇතුළත් ක්වාඩ්(Quad) සන්ධානය ශක්තිමත් කළ අතර ඊට සමගාමීව ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ විධිමත් හවුල්කාරිත්වය තර කළේය. 

ඒ අනුව ඉන්දීය අගමැතිවරයාගේ මෙම එක්සත් ජනපද සංචාරය ක්ෂේත්‍ර ගණනාවකින් දෙපාර්ශ්වයට මෙන්ම ගෝලීය දේශපාලනයටද වැදගත් වන බව දැකගත හැකිය. එසේම එය මේ වසරේ සිදුවන විශේෂතම රාජ්‍ය නායක හමුවලින් එකක් ලෙසද හැඳින්වීමේ කිසිදු වරදක් නැත.