Monday, May 13, 2024

General line - 0115112241

හඟුරන්කෙත පොලිසිය අසල උණුසුම් තත්ත්වයක්




හඟුරන්කෙත පොලිසිය අසලදී ඊයේ රාත්‍රී උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඒ, 200 දෙනෙකුගෙන් යුත් පිරිසක් පොලිස් ස්ථානය අසලට විත් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන්.

ඊයේ රාත්‍රී 9ට පමණ එම ස්ථානයට පැමිණි පිරිස විසුරුවා හැරීමට රාත්‍රී 10ට පමණ අහසට වෙඩි තැබූ බවයි පොලිසිය පැවසුවේ. 

හඟුරන්කෙත උඩවත්ත කුඹුර ප්‍රදේශයේ ඉකුත් 19වනදා ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් හටගත් ගැටුමකදී තුවාල ලැබූ වයස අවුරුදු 22ක තරුණයෙකු මහනුවර ජාතික රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 25වනදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධියට අදාළ තවත් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔවුන් එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළා.

එවන් පසුබිමක් තුළ 200කුගෙන් යුත් කණ්ඩායමක් හඟුරන්කෙත පොලිස් ස්ථානය වෙත පැමිණ අදාළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසියට බල කරමින් කලහකාරී ලෙස හැසිරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටද පියවර ගන්නා බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.