Monday, May 13, 2024

General line - 0115112241

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි

උදයකුමාර




රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස  අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී  විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස 17 වනදා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනු කරනු ලැබූ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා අද කැදවූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදු කෙරුණා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවනු ලැබුවා.

එහිදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින්පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විශේෂඥ  වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා තමන්ට දැනුම් දුන් බවයි.

මීට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගැනීමට නියමිත බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන අධිකරණ හමුවේ කරුණු දක්වමින් සෞඛ්‍ය බලධාරීන් ගනුලබන මෙම පියවර සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව සඳහන් කළා.

කෙසේ වෙතත් ඇතැම් විශේෂඥ වෛද්‍යවරු මේ මස 30 වනදා විශ්‍රාම ගැන්වීමට නියමිතව තිබෙන හෙයින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.  

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙසද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කලා.