Monday, May 20, 2024

General line - 0115112241

30වනදා විශ්‍රාම යාමට නියමිත වෛද්‍යවරුන් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තීරණයක්




ලබන 30වනදායින් විශ්‍රාම යාමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව, එම වෛද්‍යවරුන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය තීරණයක් ලබාදෙන තෙක් විශ්‍රාම යාමට නියමිත දිනය නොසලකා රාජකාරී සිදු කළ හැකි බවටයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ..

අදාළ වෛද්‍යවරුන් විශ්‍රාම යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සිදුකළ සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මේ අතර සිය විශ්‍රාම යාම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ගොනු කරනු ලැබූ රිට් පෙත්සම අද දින යළි සලකා බැලෙනවා.

විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී  විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස 17 වනදා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් ගොනු කරනු ලැබූ රිට් පෙත්සමක් ඊයේ සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම දැනුම්දීම සිදු කළා.

ඒ, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

එහිදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින්පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා තමන්ට දැනුම් දුන් බවයි.