Monday, May 20, 2024

General line - 0115112241

EPF පොළියට මොකද වෙන්නේ ? මහබැංකු අධිපති කතා කරයි




දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේදී සේවක අර්ථසාධක අරමුදලට කිසිදු බලපෑමක් සිදුනොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ඒ හරහා සේවක අර්ථසාධක අරමුදලට බලපෑමක් වනු ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි. එහිදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් සඳහා ගෙවන සියයට 9 ක පොළියටද කිසිදු බලපෑමක් සිදුනොවන බවයි.

සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් සඳහා අතනොතබන බවත්, අවම වශයෙන් සියයට 9 ක පොළියක් සහතික විය හැකි බවත් ඔහු අවධාරණය කළා.

මෙරට බැංකු පද්ධතිය සතු මිලියන 57 ක තැන්පත්කරුවන්ගේ තැන්පතු ආරක්ෂා කරන බවටද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සහතික කර තිබෙනවා.

බැංකු පද්ධතියට තවදුරටත් බර පැටවීමක් සිදුනොවන බවත්, දැනටමත් සියයට 50 කට වඩා වැඩි බදු ආදායමක් බැංකු හරහා භාණ්ඩාගාරයටත් මෙරට ආර්ථිකයටත් ලැබෙන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙම හමුවේදී ප්‍රකාශ කළා.

කිසියම් ආකාරයකින් මෙරට බැංකු පද්ධතිය බිඳ වැටුණහොත් එහි ප්‍රතිඵල ව්‍යවසනකාරී විය හැකියි. එබැවින් බැංකු ක්ෂේත්‍රය ආරක්සා කර ගැනීම අත්‍යවශ්‍ය බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්ණ කළේ දින 05 ක බැංකු නිවාඩුවක් ලබාදුන්නේ ඇයිද යන්න පිළිබඳවයි.

ඊට පිළිතුරු ලබාදෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන තෙක් කිසිදු මූල්‍ය පද්ධතියේ ඇතිවිය හැකි අස්ථාවරත්වය වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

මේ අතර 2024 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්වල පොළිය සියයට 12 යි දශම 4 ක් වන ලෙසත්, 2026 දක්වා භාන්ඩාගාර බිල්පත්වල පොළිය සියයට 7 යි දශම 5 දක්වාත් ප්‍රතිව්‍යුහගත කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොළිය සියයට 5 ක් වන ලෙසත් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතයි.