Saturday, May 4, 2024

General line - 0115112241

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 9 දෙනෙකු මරුට -සියයකට වැඩි පිරිසකට තුවාල




පලස්තීන සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් නව දෙනෙකු මියගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. වෙස්ට් බෑන්ක් කලාපයේ ජෙනින් සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා මෙහෙයුමක් ආරම්භ කළ අතර පලස්තීන සටන්කාමීන් ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් අනතුරුව ඊශ්‍රායලය අදාළ ප්‍රදේශයට සන්නද්ධ හමුදාව යොමු කර ඇති බවයි.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයට ලක් වූ සරණාගත කදවුරු තුළ ජල සැපයුම හා විදුලි සැපයුම බිද වැටීම හේතුවෙන් එහි වෙසෙන සරණාගතයින් දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටින බවයි. තුවාල ලැබූ පුද්ගලයින්ට ප්‍රතිකාර ලබාදීම සදහා අවශ්‍ය වෛද්‍ය සැපයුම් අදාළ රෝහල් වෙත යොමුකර ඇති බවද පලස්තීන සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසා ඇත්තේ ජෙනින් කලාපයේ ත්‍රස්තවාදීන් විසින් සිදුකර ඇති ඉදිකිරීම් ඉලක්ක කර අදාළ ප්‍රහාරය එල්ල කළ බවයි. කෙසේවෙතත් පලස්තීනය චෝදනා කරන්නේ සරණාගත කඳවුර විනාශ කර එහි සිටින ජනතාවට උන්හිටිතැන් අහිමි කිරීමට ඊශ්‍රායලය උත්සහ කරන බවයි.