Sunday, May 19, 2024

General line - 0115112241

විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 35 කට අලුත් විදුලි බිලෙන් සහනයක්




විවිධ පාර්ශව චෝදනා නැඟුවද පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන්  ලක්ෂ 35කට, සියයට 55 ක විදුලි මිල සහනයක් ලබාදීමට රජය කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ආගමික ස්ථාන හා කර්මාන්ත අංශයට එම විදුලි මිල සංශෝධනයේදී සහන ලබාදීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා නව පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය මේ වන විට නිර්මාණය කර තිබෙන බව ද සඳහන් කළා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි. 

අඛණ්ඩ  ඉන්ධන සැපයුම සඳහා ඛනිජ තෙල් සංස්ථාව ගිවිසුම් ගත වූ සමාගම් දෙකෙන්, එක් සමාගමක පළමු ඉන්ධන නැව මේ මස අවසානයේ මෙරටට පැමිණෙනු ඇති බවත් ඒ සමඟ නව සැපයුම් කරුවන්ගේ  ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ වන බවත් අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කළා.

මූල්‍ය අර්බුදයට ලක්ව තිබූ විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට මූල්‍ය ස්ථාවරත්වයක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.