Sunday, May 19, 2024

General line - 0115112241

දිවයිනේ නිරිතදිග කොටසට තද වැසි - ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි




දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත්, ඇතැම් ප්‍රදේශවලට මිලමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාර්්‍යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් පැවසුවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට ද වැසි ඇතිවිය හැකි බවයි කාර්්‍යයේ නියතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් වැඩිදුරටත් පැවසුවේ.

 

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් සිදුව තිබෙනවා.

 

ඇතැම් ප්‍රදේශවල පාසැල්වලට සිසුන්ගේ පැමිණීමද අවම මට්ටමක පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.


ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පෙරවරුවේ ද තද වැසි පැවති බව නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවා.

මහනුවර දිස්ත්‍රික්කයට ද ඊයේ පස්වරුවේ සිට වැසි ඇදහැලෙමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ.

 

මේ අතර තලවකැලේ සහ වටගොඩ අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ලවී තිබෙනවා.

 

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අද උදෑසන නානුඔය සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි. පවතින වැසි තත්ත්වය හේතුවෙන් දුම්රිය පීලිගත කිරීමේ කටයුතුවලටද බාධා එල්ලවී තිබෙනවා. 

මේ අතර මාතර - කඹුරුගමුව සහ වැලිගම අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ද අද උදෑසන ප්‍රමාද වුණා.

ගාල්ල කඳුබඩ ප්‍රදේශයේදී ද දුම්රිය මාර්ගය මතට දුරකථන කුළුණක් ඇද වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ වන විට දුම්රිය මාර්ගය මතට කඩා වැටුණු ගස සහ දුරකථන කුළුණ ඉවත් කර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර අකුරැස්ස, මාණික්ගොඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ තොරණක් ඊයේ රාත්‍රියේ පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් කඩා වැටී තිබෙනවා.

මාණික්ගොඩ “අපි මිතුරෝ” සමිතිය විසින් එම තොරණ ඉදිකර තිබුණේ කුඩා වැවකයි.

කඩා වැටී ඇති එම තොරණ නැවත සකස් කිරීම ප්‍රදේශයේ මහා සංඝරත්නයේ මහා ආශිර්වාදයෙන් අද පෙරවරුවේ යළි ආරම්භ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.