Sunday, May 19, 2024

General line - 0115112241

අලි මිනිස් ගැටුම විසඳීමට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි - අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි




අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සහ වැඩපිලිවෙලක් ඇති කළයුතු බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා ඊට අදාළ අනෙකුත් සියළුම ආයතනයන්ගේ  මැදිහත්වීමෙන් සකස් කෙරෙන අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් වූ ජාතික ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙළ  පාර්ලිමේන්තුව තුළ විවාදයට බඳුන් කළයුතු බවත්, ආංශික අධීක්ෂණ කමිටු වෙත යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිසි සැකැස්මක් සකස් කළ යුතු බවයි අමාත්‍යවරිය කියා සිටියේ.

අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊට අදාළ සියලුම ආයතන ඒකාබද්ධ කර ගනිමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති  වැඩමුළුවකට සහභාගි වෙමින් ඇය මෙම අදහස් පළ කළා.

වත්මන් තත්ත්වය තුළ අලි මිනිස් ගැටුම මෙරට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේදී කොතරම් මුදලක් වැය වුවද වැයවන මුදල නොව ස්ථිරසාර විසඳුමක් ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍ය විත්‍රා වන්නිආරච්චි එහිදී පෙන්වාදී තිබෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ සකස් කිරීමේදී කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් සහිතව සැකසිය යුතු බවද අමාත්‍යවරිය අවධාරණය කළ බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය සඳහන් කළා.