Monday, May 20, 2024

General line - 0115112241

කතාබහක් ඇති කළ මුතුරාජා හස්තියා ගැන තායිලන්තයෙන් දැඩි තීරණයක්




පසුගිය සමයේ කතාබහට ලක්වූ මුතුරාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබානොදෙන බව තායිලන්ත රජය නිල වශයෙන් ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තායිලන්ත මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මුතුරාජා හස්තියා මේවනවිට තායි රජුගේ භාරයට ගෙන ඇති බවයි.

එබැවින් හස්තියා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට පවා නොහැකි බව තායිලන්ත ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය වරවුත් සිපාචා ප්‍රකාශ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා වල දැක්වුණේ. 

මුතුරාජා හස්තියා තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමිවූයේ මීට වසර 22 කට පෙරයි. එහෙත්, හස්තියා පසුගියදා තායිලන්තයට රැගෙන යාමට එරට රජය පියවර ගත්තේ හස්තියාට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන්.

ඒ, අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ 40,000 ක් වැය කර තායිලනත් රජය මෙරටට එවූ විශේෂ ගුවන් යානයක් මගින්. 

29 හැවිරිදි වියේ පසුවන මුතුරාජා හස්තියාට මේවනවිටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙමින් ඇති අතර හස්තියා රඳවා ඇත්තේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයකයි.

මේවනවිට මුතුරාජා හස්තියා තායිලන්තය විසින් හඳුන්වනු ලබන්නේ “සක්සුරි” ලෙසයි.

ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව හස්තියා යළිත් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස මෙරට ස්වාමීන් වහන්සේ නමක් තායිලන්ත රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් එරට පරිසර අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙම කාරණාව තවදුරටත් සාකච්ඡාවට පවා විවෘත නොවන බවයි.