Monday, May 20, 2024

General line - 0115112241

අස්වැසුම ගැන බියෙන් සමෘද්ධි තැන්පතු මුදල් ආපසු ගැනීමේ ප්‍රවණතාවක්




පැතිර යන විවිධ ප්‍රචාර හේතුවෙන් සමෘද්ධි බැංකුවල ගිණුම් හිමියන් ඔවුන්ගේ ගිණුම්වලින් විශාල වශයෙන් මුදල් ලබාගැනීම හා ගිණුම් අවලංගු කිරීමේ ප්‍රවණතාවක් පසුගිය දින කිහිපයේදී නිරීක්ෂණය වී තිබෙනවා. අස්වැසුම සමාජ ප්‍රතිලාභ ගෙවීම සමෘද්ධි බැංකුවලින් ඉවත් කිරීම හේතුවෙන් සමෘද්ධි බැංකු අඩාල වේයැයි පැතිර යන කටකතා හා අසත්‍ය ප්‍රචාර හේතුවෙන් සමෘද්ධි බැංකුවල ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින් එලෙස සිය ගිණුම්වල ඇති මුදල් ලබාගන්නා බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මේ හේතුවෙන් පසුගිය දින දෙක තුළදී ඇතැම් සමෘද්ධි බැංකු ශාඛාවල නිලධාරීන් දැඩි අසීරුතාවන්ට මුහුණපා ඇති බවද වාර්තා වුණා. 
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගණුදෙණුකරුවන් හා ප්‍රජා නිලධාරීන් දැනුවත් කිරීමට කඩිනමින් ක්‍රියාකරන ලෙස ඇතැම් දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන් සමෘද්ධි බැංකු කළමනාකරුවන් ඇතුළු පහළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇතැයිද වාර්තා වනවා. අස්වැසුම වැඩසටහන යටතේ සහනාදාර ක්‍රමය පමණක් ඉවත් වුවද සමෘද්ධි ප්‍රජා මූල බැංකු මඟින් මේ වන විට ක්‍රියාත්මක කරන අනෙකුත් සියලුම කටයුතු පෙර පරිදි ඉතා හොඳින් හා ඵළදායි ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බවයි ඉහළ පෙලේ සමෘද්ධි නිලදාරීන් පෙන්වාදී ඇත්තේ. 

ඒ අනුව සමෘද්ධි බැංකු වැඩසටහන අහෝසි වේයැයි ගොඩනැගී ඇති මතය නිවැරදි කරමින් ප්‍රජා නායකයින්, ප්‍රජා සංවිධාන හා ගණුදෙනුකරුවන් දැනුවත් කිරීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද එම නිලධාරීන් පෙන්වාදී තිබෙනවා. අනිවාර්්‍යය තැන්පතු, දිරිය මාතා, සාමාන්‍ය තැන්පතු සහ කොටස් තැන්පතු ආදී ගිණුම් වර්ග රාශියක සමෘද්ධි ප්‍රතිලාභීන් සිය මුදල් තැන්පත් කර තිබෙනවා.