Monday, May 20, 2024

General line - 0115112241

ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍යයක් පළමුවරට ශ්‍රී ලංකාවේ - ධන කුවේරයින් දෙදෙනෙකු අත්අඩංගුවේ




ඉතිහාසයේ පළමු වරට ලොව ධන කුවේරයින් අතර ප්‍රචලිත ප්‍රබල මත්ද්‍රව්‍ය විශේෂයක් මෙරටදී සොයා ගෙන තිබෙනවා.

එය නම් කර ඇත්තේ “ෆෝ එම් එම් සී” නමින්.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී එම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115 ක් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරට මෙරට කෝටිපති ධනවතකු සහ කෝටිපති ව්‍යාපාරික පුත්‍රයෙකු ද අයත්. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින්.

ඔවුන් පැවසුවේ මාලදිවයින සහ ඩුබායි අතර මෙරට සිට සිදුකෙරෙන මෙතෙක් හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ජාවාරමක් හරහා මෙම මත්ද්‍රව්‍ය මෙරටට පැමිණ ඇති බවයි. 

මොරටුව සමන්පුර ප්‍රදේශයේ අති සුඛෝපභෝගී තෙමහල් නිවසක ජාත්‍යන්තරය හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක  බලකායේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට තොරතුරක් ලැබී තිබුණා.

පසුව එහි අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර සමඟ කළ සැලසුමක් අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට බෙදාහැරිමේ නියෝජිතයා ලෙස කටයුතු කර ඇත්තේ මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක්. 

කාලයක් තිස්සේ  සිදුකළ හඳුනා නොගත් මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලමුල ඔහුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණ වූ බවයි පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පැවසුවේ.

සැකකරු අනාවරණය කල තොරතුරු අනුව මත්ද්‍රව්‍ය ජාලයේ මහ මොළකරු ලෙස කටයුතු කර ඇත්තේ මෙරටට බෝට්ටු සහ එන්ජින් ආනයනය කිරීමේ යෙදෙන දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙක්.

ඔහු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු තවදුරටත්  අනාවරණය කර ගැනීමට හැකි වූ බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පැවසුවා.

මෙම ජාවාරමේ මෙරට බෙදාහැරීමේ කටයුතු වලට සහාය ලබා දුන් දෙහිවල ඇන්ඩර්සන් පාරේ පුද්ගලයකු ද කුශ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඩුබායි සිට ගුවන් තැපැල් හරහා සහ කූරියර් සේවාව ඔස්සේ සෙල්ලම් බඩු අතරේ සඟවා මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව සැකකරුවන් ඒවා නැවත කොටස් කර සෙල්ලම් බඩුවල ඇසුරුම් කර මාලදිවයිනට ප්‍රති  අපනයනය කිරීමට දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ සැකකරු වෙත භාර දී තිබූ බව මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. 

මෙම මත්ද්‍රව්‍ය විශේෂය රාත්‍රී සමාජ ශාලා සඳහා ඇබ්බැහිව සිටින ධනවත් ව්‍යාපාරිකයින් අතර ප්‍රචලිතයි.