Monday, May 20, 2024

General line - 0115112241

මුතුරාජා රැගෙන ගිය තායිලන්තය ලොව නරකම පක්ෂියා ශ්‍රී ලංකාවට එවයි




ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ “ද්විත්ව කරමල් කැසොවරි” කුරුල්ලන් තිදෙනකු තායිලන්තයේ සිට මෙරටට එවා තිබෙනවා.

ඒ, දෙහිවල සත්වෝද්‍යානය සදහා ලබාදීමටයි.

මෙලෙස ශ්‍රී ලංකා තායිලන්ත සත්ත්ව හුවමාරු වැඩසටහනක් පිළිබඳ තොරතුරු හුවමාරු වන්නේ මුතුරාජා හස්තියා සම්බන්ධයෙන් ලොව පුරා කතාබහක් මතුව ඇති පසුබිමක් තුළයි. 

මෙලෙස ශ්‍රී ලංකාවට එවා ඇත්තේ මාස 09 ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් දෙදෙනෙකු සහ එක් කැසොවරි කිරිල්ලියක්.               

මෙම කැසොවරි කුරුල්ලන්, ලෝකයේ නපුරුම කුරුල්ලන් ඝනයට අයත් වන අතර ලෝකයේ දෙවන විශාලතම පක්ෂීන් කාණ්ඩයට ද අයත්.

ඉතාම වර්ණවත් මෙම කුරුල්ලන්ට පියාඹිය නොහැකි වීම ද විශේෂත්වයක්.

මෙම සත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙන් මීමින්නන්, කළු වදුරන්, රිළව්, වළිකුකුළන් සහ තවත් සර්ප විශේෂ කිහිපයක් තායිලන්තයට යැවීමට සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර පසුගිය සමයේ කතාබහට ලක්වූ මුතුරාජා හස්තියා අද 05 වන දිනටත් නිරෝධායනයේ පසුවන බව තායිලන්ත මාධ්‍ය වාර්තා කළා.

එම මාධ්‍ය වාර්තාවල දැක්වුණේ අද වනවිට මුතුරාජා හස්තියා තායිලන්තයේ ජනප්‍රියතම හස්තියා බවට පත්ව ඇති බවයි.

තායිලන්ත අලි සංරක්ෂණ මධ්‍යස්ථානය විසින් දිනපතා හස්තියා පිළිබඳ සජීවී වාර්තාවක් ගෙන එනවා.

මේවනවිට එය නැරඹීමට එහි ෆේස්බුක් පිටුවට පැමිණෙන සංඛ්‍යාව දස දහසකට අධිකයි. 

මුතුරාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබානොදෙන බව තායිලන්ත රජය නිල වශයෙන් ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තායිලන්ත මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මුතුරාජා හස්තියා මේවනවිට තායි රජුගේ භාරයට ගෙන ඇති බවයි.

එබැවින් හස්තියා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට පවා නොහැකි බවයි තායිලන්ත ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය වරවුත් සිපාචා ප්‍රකාශ කර ඇත්තේ. 

මුතුරාජා හස්තියා තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමිවූයේ මීට වසර 22 කට පෙරයි.

එහෙත්, හස්තියා පසුගියදා තායිලන්තයට රැගෙන යාමට එරට රජය පියවර ගත්තේ හස්තියාට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන්.

මේවනවිට මුතුරාජා හස්තියා තායිලන්තය විසින් හඳුන්වනු ලබන්නේ “සක්සුරි” ලෙසයි.

ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව හස්තියා යළිත් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස මෙරට ස්වාමීන් වහන්සේ නමක් තායිලන්ත රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් එරට පරිසර අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙම කාරණාව තවදුරටත් සාකච්ඡාවට පවා විවෘත නොවන බවයි.