Saturday, May 18, 2024

General line - 0115112241

ෆේස්බුක් සාදයකට මත්ද්‍රව්‍ය ගෙනා 12ස් දෙනෙක් පොලිස් දැලේ




ෆේස්බුක් ඔස්සේ සංවිධාන කරන ලද මත්ද්‍රව්‍ය සාදයකට සහභාගී වී සිටි පුද්ගලයින් 12 දෙනෙකු පන්විල, මඩොල්කැලේ ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව පන්විල පොලිස් ස්ථානයේ නිලධාරීන්, රංගල හා වත්තේගම පොලිස් ස්ථානවල නිලධාරීන් සමග එක්ව සිදුකළ වැටලීමකදීයි. 
එහිදී සාදයට පැමිණ සිටි පිරිමි පුද්ගලයින් 98 දෙනෙකු හා කාන්තාවන් 13 දෙනෙකු පොලීසිය විසින් පරීක්ෂා කර තිබෙනවා. එහිදී අදාළ සාදය සංවිධාන කළ පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළුව සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය ද පොලීසිය විසින් සොයා ගෙන තිබුණා. ඒ අතර ගංජා මිලිග්‍රෑම් 740 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 210 ක් ද වන බවයි පොලීසිය පැවසුවේ. 


අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 21 ත් 33 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන මාතර, නාරම්මල, අඹතැන්න, මුරුතලාව, උකුවෙල, ගම්පොල, නුවරඑළිය හා පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලීසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් පන්විල පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.