Saturday, May 18, 2024

General line - 0115112241

සිය පියාගෙන් වධහිංසාවලට ලක්වූ දරුවෙකු නෙත් නිවුස් මැදිහත්වීමෙන් පොලිසිය භාරයට




පියෙකු විසින් සිය කුඩා පුත්‍රයා ජල බේසමක ගිල්වා වධහිංසාවට ලක්කිරීමේ සිද්ධියක් දැක්වෙන වීඩියෝවක් පසුගියදා නෙත් නිවුස් ෆේස්බුක් පිටුවේ පළ කෙරුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ වැඩිදුර සොයා බැලීමකදී අනාවරණ වුණේ එම දරුවා වධහිංසාවට ලක් කරන පුද්ගලයා වැල්ලම්පිටිය, වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන, එම දරුවාට වධහිංසා පමුණුවන වීඩියෝව මීට මාස 06 කට පෙර ලබාගත් වීඩියෝපටයක් බවද එම සොයා බැලීමේදී අනාවරණ වුණා. 

අදාළ දර්ශනවල සිටින පුද්ගලයා මත්ද්‍රව්‍ය සඳහා තදින් ඇබ්බැහිවූවෙකු වන අතර මත්ද්‍රව්‍යවලට අදාළ නඩුවක් සම්බන්ධයෙන්  ඔහු මේවනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.  

වධහිංසාවලට ලක් වූ එම කුඩා දරුවා සිය මිත්තණිය භාරයේ සිටින අතර ඔහුගේ මව දරුවා මිත්තණියට පවරා නිවසින් පිටව යන බවද  මෙම සොයා බැලීමේදී හෙළි වුණා.

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන එම වීඩියෝව පටිගත කර ඇත්තේ එම දරුවාගේ පවුලේ ඥාතියෙකු විසින්.

වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත මේ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ ද ඒ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.  

මේ අතර මෙම දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අවධානම හේතුවෙන් ඔවුන්ට සහය විම සඳහා එම දරුවා සහ ඔහුගේ මව සම්බන්ධ කර ගැනීමටද නෙත් නිවුස් කණ්ඩායම උත්සහ කළා.

ඒ අනුව නෙත් නිවුස් නියෝජිත කසුන් තිවංක වික්‍රමසිංහ විසින් අදාළ දරුවාගේ මව සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ අතර ඇය පවසා තිබුණේ ඊයේ පස්වරුවේ දරුවා සමග නෙත් නිවුස් කණ්ඩායම හමුවීමට පැමිණෙන බවයි. 

එහෙත් අනතරුව ඇය සම්බන්ධ කර ගැනීමට නෙත් නිවුස් කණ්ඩායමට අවස්ථාවක් නොලැබුණු අතර එම කාන්තවාගේ ජංගම දුරකථනය ද විසන්ධි වී තිබුණා.

ඉන් නොනැවතුන නෙත් නිවුස් කණ්ඩායම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලූ අතර එහිදී අනාවරණ වුණේ එම දරුවා බොරැල්ල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගෙන ඇති නිවසක රඳවා සිටින බවයි.

මවගේ තොරතුරු අනුව අදාළ නිවස සොයා ගැනීමට අපහසු වුවත් වැඩිදුර සොයා බැලීමේදී එම දරුවා බොරැල්ල ප්‍රදේශයේ කුලී නිවසක තවත් පිරිමි පුද්ගලයෙකු සමග රඳවා සිටියදී නෙත් නිවුස් කණ්ඩායම වෙත හමුවුණා. 

එලෙස දරුවා සමග සිටි පුද්ගලයා ද 25 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර ඔහු භාරයේ දරුවා තබා මව එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා.

නෙත් නිවුස් කණ්ඩායමට හමුවන විටත් එම දරුවා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි නිරීක්ෂණය වුණේ.

අනතුරුව පොලීසිය හා සම්බන්ධ වී එම දරුවා පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වෙත භාරදීමට නෙත් නිවුස් කණ්ඩායම පියවර ගනු ලැබුවා. 

මෙම කර්තව්‍ය සඳහා නෙත් නිවුස් කණ්ඩායම වෙත ජ්‍යෙෂ්ඨ නියා්ජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර හා උප පොලිස් පරීක්ෂක කාන්තීපන් ද සහය ලබාදුන්නා. 

 

මේ පිළිබඳව වීඩියෝව අපගේ නෙත් නිවුස් යු ටියුබ් නාලිකාව , නෙත් නිවුස් ෆේස්බුක් පිටුව තුලද පළකර තිබෙනවා.

නෙත් නිවුස් යු ටියුබ් නාලිකාව : https://youtu.be/oTsQpalGweE

නෙත් නිවුස් ෆේස්බුක් පිටුව :  https://fb.watch/lH7r0jPRbz/