Friday, May 3, 2024

General line - 0115112241

පකිස්තානය සත්කාරකත්වය දැරුවත් ආසියානු ක්‍රිකට් කුසලානයේ වැඩිම තරග ශ්‍රී ලංකාවට




ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහනට අනුව වැඩිම තරග සංඛ්‍යාවක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. 2023 ආසියානු කුසලානයේ සත්කාරකත්වය දරණ පකිස්තානයට හිමිව ඇත්තේ තරග 04 ක් පමණයි. ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන්නේ කොළඹ සහ මහනුවරදීයි. ලාහෝර් සහ මුල්තාන් යන නගරවලදී පකිස්තාන තරග පැවැත්වෙනු ඇති. 
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අගෝස්තු 30 වනදා පකිස්තානය හා නේපාලය අතර පැවැත්නෙවා. ඒ, පකිස්තානයේ මුල්තාන් ක්‍රීඩාංගනයේදීයි. ශ්‍රී ලංකාව සහභාගී වන මුල්ම තරගය අගෝස්තු 31 වනදා බංග්ලාදේශයට එරෙහිව මහනුවරදී පැවැත්වෙනවා. ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයක් දිනාගෙන ඇති පකිස්තාන - ඉන්දියා තරගය පැවැත්වෙන්නේ ද මහනුවරදීයි. ඒ, සැප්තැම්බර් 02වන දායි. බංග්ලාදේශ - ඇෆ්ගනිස්තාන තරගය ලාහෝර් හිදීත්, ඉන්දියා නේපාල තරගය මහනුවරදීත්, ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකා තරගය ලාහෝර් හිදීත් පැවැත්වීමට නියමිතයි. 
මෙවර ආසියානු කුසලානය සඳහා රටවල් 06 ක් කාණ්ඩ 02 ක් යටතේ තරග වදිනවා. පකිස්තානය, ඉන්දියාව සහ නේපාලය තරග වදින්නේ ඒ කාණ්ඩයෙන්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය බී කාණ්ඩය යටතේ තරග වදිනවා. මූළික වටයේ පැවැත්වෙන තරග අතරින් වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා කණ්ඩායම් 04 සුපර් ෆෝ වටයට සුදුසුකම් ලබනු ඇති.
සුපිරි හතරදෙනාගේ වටයේ පළමු තරගය ලාහෝර් හිදී පැවැත්වෙන අතර සෙසු සියලු තරග පැවැත්වෙන්නේ කොළඹදීයි. අවසන් මහා තරගය සැප්තැම්බර් 17 වනදා කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. 
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ පන්දුවාර 50 තරගාවලියක් ලෙසයි. ඒ, එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රීකට් තරගාවලියට සමගාමිවයි. මෙවර තරගාවලියේ සත්කාරකත්වය පකිස්තානයට හිමිවුවද, ඉන්දියාව එරටට යාම ප්‍රතික්ෂේප කිරීමත් සමග අර්බුධයක් මතු වුණා. ඒ අනුව අවසානයේ තීරණය කෙරුණේ ශ්‍රී ලංකාවේ සහ පකිස්තායේදී තරග පැවැත්වීමටයි. එහිදී ඉන්දියාව සහභාගී වන සියලු තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.